(අජිත්ලාල් ශාන්තඋදය)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 519 සියඹලාමුරය ග්‍රාම නිලධාරී වසමේ මොරගහලගොඩ ගමේ තිස් හත් වසරකට පෙර ජනතා අයිතියට පත්කළ පොදු ඉඩම රාජ්‍ය නිලධාරින් මැදිහත්ව පුද්ගලයෙකුට සින්නකර ඔප්පුවක් සාදා දී අයිතිකරදී ඇති බව තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබාගත් තොරතුරු වලින් අනාවරණය වී තිබේ.
මෙම වැරැද්ද නිවැරදි කිරිමට උසස් නිලධාරීන් දී ඇති නිර්දේශ පවා ක්‍රියාත්මක නොකිරිම හේතුවෙන් ගම්වාසීන්ට තම දරුවන් යැවු පෙරපාසල පවා දැන් අහිමිව ඇති බව කියති.
තොරතුරු දැනගැනිමේ පනත හරහා ලබාගත් තොරතුරු අනුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ උදාගම් සංකල්පය අනුව ගමේ පොදු අවශ්‍යතා අනුව වෙන්කළ අක්කර භාගයකට වැඩි බිම් කොටසකට ජයභූමි ඔප්පුවක් සාදවාගෙන ඇති බව හෙළිවිය.
ව්‍යාජ ඔප්පුවක් සකස් කර ඇති බව තොරතුරු පනතින් ලබාගත් තොරතුරුවලින් හෙළිවෙයි

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පුද්ගලිකව පැමිණ 1987 – 05-02 දින ජනතා අයිතියට පත්කළ ප්‍රඡා ශාලාව, බුදුමැදුර, බෝධියක්, ප්‍රජා නළළිද, සහ ප්‍රජා ජල කාර්යාලයක් පිහිටා තිබුණ ඉඩමකට වසර නවයකට පමණ පසු කූඨ ලේඛන සකස් කර හම්/7/ප්‍ර/36214 දරණ ජයභූමි දීමනා පත්‍රය ඊ.එම්. කරුණාදාස නැමැත්තෙක්ගේ නමට 1996-08-10 දිනැතිව ව්‍යාජව සකස් දී ඇති බව තොරතුරු පනතින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වෙයි.
මෙම දීමනා පත්‍රය ලබාගැනීමේදී එකී භූමිය තුළ පිහිටා තිබු ප්‍රඡා ශාලාවේ පවත්වාගෙන ආ පෙරපාසල කටුවන ප්‍රාදේශීය සභාවේ පාලනයට යටත්ව තිබීම ද හෙළිවිය. එහි පෙරපාසල් පාලිකාවට දීමනා ගෙවා තිබුණේද කටුවන ප්‍රාදේශීය සභාව විසිනි.
කෙසේ වෙතත් මේ සියල්ල හෙළිවන්නේ වලස්මුල්ල දිසා අධිකරණයෙන් අංක එල්/776 දරණ නඩුවේ තීන්දුව සහ ඊට එරෙහිව තංගල්ල සිවිල් අභියානාඅධිකරණයේ SP/HCCA/TAN/39/2020F අභියාචනා නඩුවේ නියෝග වලින් පසුවය.
අධිකරණ නියෝගයෙන් පොදු ගොඩනැගිලි ඩෝසර් කරලා
එකී අධිකරණ නියෝග අනුව මෙම පොදු ඉඩමේ තිබු ප්‍රජා ශාලාව, බුදුමැදුර, ප්‍රජා නළළිද, සහ ප්‍රජා ජල කාර්යාලය සහ බුදු මැදුරක් ඉදිකිරීමට දැමු කොන්ක්‍රීට් අත්තිවාරම පිස්කල් විසින් ඩෝසර්කර ඉවත්කර තිබේ. දැන් එහි අයිතිය හම්/7/ප්‍ර/36214 දරණ ජයභූමි දීමනා පත්‍රය හිමි ඊ.එම්. කරුණාදාස යන අය වෙත අධිකරණ නියෝගයෙන් පවරා ඇත.
මෙය ගමේ පොදු ඉඩමක් සහ පොදු ගොඩනැගිලි සමුහයක් නිසා එහි අයිතිය පුද්ගලයෙකුට ජයභූමි ඔප්පුවකින් හිමිවුයේ කෙසේ යන්න ගම්වැසියන්ට ගැටලුවක් විය. එකී ඔප්පුව හිමි තැනැත්තා පොදු ඉඩමට යාබද ඉඩමේ නිවසක් ද තනාගෙන ආදායම්ද ලබයි. ඔහු පරිහරණය කරන එකී පර්චස් 1020ක භූමි ප්‍රමාණයට කිසිදු බලපත්‍රයක් නොතිබීම ද ප්‍රශ්න සහගතය.
මෙම පොදු ඉඩම පාරවල් තුනකට මායිමවන බිමක් නිසා එහි වානිජ වටිනාකම් වැඩි හෙයින් එවකට කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටි ඉඩම් සම්බන්ධ වගකිව යුතු නිලධාරින් හා එක්ව කූඪ ලේඛන සකසා ව්‍යාජ ඔප්පුව සකසා ගන්නට ඇතැයි විශ්වාසයක් පවතී.
ඉඩම් පැවරීමේ මුල් ලේඛන කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යායේ නොමැතිව, ඉඩම් කච්චේරියක් ද නොපවත්වා, නිසි ක්‍රමවේදයෙන් බැහැරව, ඉඩම් ඔප්පුව සකසා ගැනීම සම්බන්ධව කරුණු තොරතුරු පනතින් අනාවරණය කරගැනීමට මූලිකම කාරණය වන්නේ සියඹලාමුරය ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන් පිරිසකට එරෙහිව වලස්මුල්ල දිසා අධිකරණය හමුවේ පවරණ ලද අංක එල්/776 දරණ නඩුවයි.
පොදු බුදු මැදුර අලුත් වැඩියා කළ අයට විරුද්ධව උසාවි ගිහින්
එකී නඩුවේ විත්තිකරුවන් වුයේ මොරගහලගොඩ වජිර හිමි, හේවාදෙවරම්පෝ පියදාස, එදිරිමාන්නගේ පියදාස, එදිරමාන්නගේ සුවනේරිස්, සිසිර මුතුකුමාරණ, එදිරිමාන්නගේ රනේපුරගේ ආරියදාස, එදිරිමාන්නගේ කල්‍යාණි සහ කරලහින්ගේ ජිනදාස යන අට දෙනායි. මොරගහලගොඩ වජිර හිමි පසුව උපැවිදිව තිබේ.
මෙම චුදිතයින් තමන්ට අයත් ඉඩමක අනවසර ඉදිකිරීමක් කරන බවත් එය වළක්වන ලෙසත්, එකී ඉඩම තමන් සතු ඉඩමක් බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණේ එදිරිමාන්නගේ කරුණාදාස සහ හේවා අලංකාරගේ ආරියවතී යන දෙදෙනා විසිනි.
හේතුව වී තිබුණේ ගමේ පොදු ගොඩනැගිලි තිබු ඉඩමේ අබලන්ව තිබූ බුදුමැදුර 2010 වසරේ නවීකරණය කිරිමට විත්තිකරුවන් මුල් වී කටයුතු කිරිමයි. විත්තිකරුවන් අධිකරණයේ දී කියා සිටියේ මෙම ඉඩම පොදු ඉඩමක් බැවින් එහි ඇති බුදුමැදුර අලුත්වැඩියා කිරිමට සුදානම් වු බවයි. නමුත් මෙහි අයිතිය පැමිණිලිකරුවන් සතු බව නොදන්නා බව කියා සිටියහ.

ඉඩමේ පොදු පහසුකම් ඇති බව උසාවියෙන් එවූ ලිපියකත් සඳහන්
නඩුවේදි එවකට සිටි කටුවන ප්‍රාදේශීය ලේකම්වරයාට අධිකරණයෙන් ලිපියක් එවමින් මාරගහවත්ත නම් ඉඩමේ ප්‍රදේශයේ ජනතාව වැදුම්පිදුම් කරන බෝධියක්, නළ ළිදක් , ප්‍රඡා ශාලාවක්, ප්‍රඡා ජල මූල සංවිධානයක කාර්යාලයක්, බෞද්ධ ප්‍රතිමාවක් තබා වැදුම්කරන ස්ථානයක්, එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා විසින් නිරාවරණය කරන ලද සමරු ඵලකයක්ද, ඇති බව දක්වා තිබේ. මෙම ඉඩම සම්බන්ධයෙන් රජයේ මිනින්දෝරු අදිකාරී විසින් එච්/එස්පී/කෝට්/2008/59 මැනුම අනුව පැහැදිලි බව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් යැවු ලිපියකද දැක්වේ.
එසේ වුවත් 1996දී මෙම ඉඩම සදහා ජයභූමි ඔප්පුවක් පැමිණිලිකරුවන එදිරිමාන්නගේ කරුණාදාස යන අයට ලබාදී ඇති බව පැහැදිලියැයි ද ලිපියේ දැක්වේ.
1990 වසරේ සිට එවකට සිටි දිසාපතිවරුන්ගේ අනුග්‍රහයද ගම්වාසින්ගේ කටයුතු වලට ලැබී ඇති බවත් ප්‍රදේශයේ ජනතාව එකී කටයුතු සදහා ක්‍රියාකාරිව සහභාගිවී ඇති බවත් ලිපියේ දැක්වේ.
මෙම ඉඩම් කොටස සම්බන්ධව විත්ති සහ පැමිණිලි දෙපාර්ශවය අතර ආරවුල් තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් එය සමථයකට පත් කළහැකිදැයි ගරු අධිකරණයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබුණි.
කෙසේ වෙතත් නඩුවෙන් විත්තිය පරාජයට පත්විය. විත්තිය අභියාචනා කළද එය එම තීන්දුවම විය. ඒ අනුව 2025 මාර්තු 02 දින පිස්කල් මගින් එකි ඉඩමේ පොදු ගොඩනැගිලි ඩෝසර් කර පැමිණිලිකරුට භුක්තිය බාරදෙන ලදී.

පොදු භූමියට ජය භූමි ඔප්පුවක් සෑදුවේ කෙසේද?
නඩු තීන්දුව එසේ තිබියදී පොදු ඉඩමට ජයභූමි ඔප්පුවක් පුද්ගලික නමට හැදුවේ කෙසේ ද යන්න ගම්මුන්ට විශාල සැකයක් තිබුණි. ඔවුහු දකුණු පළාත් භාර ඉඩම් කොමසාරිස්වරයාටත්, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කළහ.
මධ්‍යම ආණ්ඩුවේ ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් අනුව නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් 2024-12-20 දිනැතිව කටුවන ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් එවමින් හම්/7/ප්‍ර/36214 දරණ ජයභූමි දීමනා පත්‍රය සම්බන්ධව තොරතුරු රැසක් ඉල්ලා තිබුණි.
තොරතුරු පනත අනුව ලබාගත් එකී ලිපියෙන් එකී දීමනා පත්‍රයට අදාල බලපත්‍රය හා ලෙජර් සටහන්වල සහතික කළ පිටපත්, පැමිණිලිකරුට දීමනා පත්‍රය නිකුත්කරන අවස්ථාවේ ඉඩම සංවර්ධනය කර භුක්ති විඳීම සලකා බලා දීමනා පත්‍රය ලබාදුන්නේද?, එසේ නොමැතිනම් දීමනා පත්‍රය ලබාදෙන අවස්ථාවේ මෙම ඉඩම පොදු කටයුතු සදහා භාවිතා කළේද යන්න, මෙම බලපත්‍රකරු විධිමත් ඉඩම් කච්චේරි පවත්වා තෝරාගෙන තිබේද, එසේනම් මුලික තෝරාගැනීමේ ලැයිස්තුව සහ සම්බන්ධිත තොරතුරුවල සහතික කළ පිටපත් එවන ලෙස දන්වා තිබුණි.
මුල් ලේඛන ගංවතුරට ගිහින්ලු
එහෙත් මේ ඉඩම හම්/7/ප්‍ර/36214 දරණ ජයභූමි දීමනා පත්‍රයෙන් ලබාදීමට කටයුතු කළ මුල් ලේඛන කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගංවතුරකින් යටවු අවස්ථාවේ විනාශ වී ඇති බවට කටුවන ප්‍රාදේශීය ලේකම්වරයෙකු එක් අවස්ථාවක ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබුණි.
දකුණු පළාත් භාර ඉඩම් කොමසාරිස්වරයා 2024 මාර්තු මාසයේ මෙම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් කරවා එකී ඉඩම සම්බන්ධයෙන් ගතයුතු නිර්දෙශ සහිත වාර්තාවක් 2024-04-10 දින කටුවන ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු නිලධාරින් එවා තිබුණි. කටුවන ප්‍රාදේශීය ලේකම්, කටුවන ප්‍රාදේශීය සභාවේ ලේකම්, ඉඩම් නිලධාරී ඇතුලු රජයේ නිලධාරීන් දකුණු පළාත් භාර ඉඩම් කොමසාරිස්වරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට කටයුතු නොකිරිම මොරගහලගොඩ ගමේ පොදු ජනතාවට තවම ප්‍රහේලිකාවකි.
ළදරු පාසල් ගොඩනැගිල්ලත් අහිමිවෙලා

කෙසේ වෙතත් මේවනවිට එකී පොදු ඉඩමේ පොදු ගොඩනැගිලි නැත. අධිකරණ නියෝග අනුව පිස්කල් විසින් ඒවා ඉවත්කර පැමිණිලිකරුට බාරදී තිබේ.
තොරතුරු පනත අනුව ලබාගත් තොරතුරු වලින් කූඨ ලේඛන සකස් කර ඔප්පු හදා පොදු දේපළ අත්පත් කරගැනීමට අනුබලදීම, එකී ව්‍යාජ ලේඛන අනුව සත්‍ය වසන් කර අධිකරණය නොමග යවා රජයේ දේපළ පුද්ගලයෙකු සතු කිරීමට ආධාර අනුබල දීම රාජ්‍ය නිලධාරින් විසින් සිදුකර ඇති බව ගම්වාසීහු කියති.
ගම්වැසියන්ට සාධාරණයක් කිරිමට දකුණු පළාත් භාර ඉඩම් කොමසාරිස්වරයා කළ නිර්දේශද ක්‍රියාත්මක නොකළ බව ගම්වාසීහු කියති. දැන් ළදරු පාසල පවත්වාගෙන යන්නේ මේ වසරට පමණක් කුලියට ගත් ඉඩමක බවද ඔවුහු කියති.
මෙය බරපතල වංචාවක් බව පෙනීයන නිසා වැරදිකළ රාජ්‍ය නිලධාරීන්ට සහ ව්‍යාජව ඉඩම අත්පත් කරගත් තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පොදු ඉඩම ගමේ පොදුජනතාවගේ අයිතියට පත්කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.



