ලක්මිණි නදීෂා
තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , අද (07) ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම සොරාගත් මුදලින් කොටසක් ද සොයා ගෙන තිබේ.
ශ්රී ලංකාවේ සහ ඇමෙරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි මොහු රාගම, වැලිසර ප්රදේශයේ පදිංච් තම ඥාතීන් බැලීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය.
ඔහු අද (07) දින අලුයම 12.43 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ඔහු සිය ගමන් මල්ල ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා, නිදා ගෙන පැමිණ සිටි අතර එම ගුවන් යානයෙහි ගමන් ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු එම ගමන් මල්ල තුළ වූ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් සහ ශ්රී ලංකා රුපියල් 60,000 ක් සොරා ගෙන තිබේ.
මෙම සිදුවීම දුටු අනෙකුත් ගුවන් මගීන් මේ පිළිබද ගුවන් යානා කාර්’ය මණ්ඩලය දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ.
ඉන්පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වීමෙන් අනතුරුව, ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් මෙම චීන ජාතිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.
ඔවුන් මෙම චීන ජාතිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දුන් අතර, එහිදී ඔවුන් අත් අඩංගුවට ගෙන සිදු කළ විමර්ශන වලදී මොවුන් විසින් සොරා ගත් මුදල් වලින් කොටසක් සොයා ගැනීමට ද පොලීසිය සමත් වී තිබුණි.
ඒ අනුව 36 හැවිරිදි එක් චීන ජාතිකයෙකු සන්තකයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් 900 ක් සහ ශ්රී ලංකා රුපියල් 55,000 ක මුදලක් ද , අනෙක් 39 හැවිරිදි චීන ජාතිකයා සන්තකයෙහි ඇමෙරිකානු ඩොලර් 300 ක මුදලක් ද සගවා ගෙන තිතිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
මෙසේ සොරා ගත් මුදල් තොගය සමග මෙම චීන ජාතිකයන් දෙදෙනා අද දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
