ගැහැණු මුහුදු වඳ කළ වුන් හොයාපියෝ…

 

 

මංගලනාත් ලියනආරච්චි.- ත්‍රිකුණාමලය

 

ශ්‍රී ලංකාවේ  ගැහැණු මුහුද  නමින් ප්‍රකට කල්ලරාව මුහුදු තීරය හා සම්මුඛ යාන් ඔය මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය  මේ වන විට වඳ මුහුදක් බවට පත්ව ඇති බවට කල්ලරාව ධීවර ජනයා මැසිවිලි නගති.

දේශපාලන සහ අධිකාරිමය බලය යොදා ගනිමින් සිදුකල මෙම ‍‍ඵෙතිහාසික වැරැද්ද වහා නිවැරැදි කර තම ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙස කල්ලරාව ගම්වාසීන්  දිගින් දිගටම බළධාරීන්ගෙන් ඉල්ලීම් කළද,එය තව දුරටත්  බිහිරි අලියාට වීනා වයනවා වැනි නිෂ්ඵල කාර්යයක් බව කල්ලරාව  ශාන්ත අන්තෝනි ධීවර සමිතියේ සභාපති මානෙල් පොඩිනේරිස් මහත්මිය කියා සිටි.

ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 50 ක් පමණ උතුරට වන්නට පිහිටි කල්ලරාව ධීවර ගම්මානයේ ,  වර්තමානයේ  සියයකට ආසන්න ධීවර පවුල් ප්‍රමාණයක්  වෙසෙති. ඈත දියඹේ වෙසෙන මසුන් සිය ප්‍රජනන අවධිය ගත කිරීමට සමූහ ලෙස නැතහොත්, මාලු රංචු ලෙස  කල්ලරාව  මුහුදු තීරයට පැමිණීම මෙම තීරය  ‘ ‘ ගැහැණු මුහුද ‘ ‘ ලෙසින් හැඳින්වීමට හේතුව බව කල්ලරාව ධීවරයෝ කියති. 

මධ්‍යම කදුකරයේ උතුරු බෑවුමෙන්  ගමන් අරඹන “යාන් ඔය“ කල්ලරාවෙන්  මහ සයුර සමග එක්වීම හා ඒ මගින් ඇතිවන මත්ස්‍ය හිතකර පාරිසරික තත්වයන් කල්ලරාව මුහුදු තීරය වසර පුරාවටම සරුසාර මත්ස්‍ය අස්වැන්නකට හිමිකම් කීමට හේතුව වී ඇත. තිස් වසරක යුධ ගැටුම්  සමයේ මෙන්ම සුනාමි වැනි ස්භාවික උපද්‍රව හමුවේද කල්ලරාව අතහැර නොගිය ධීවරයන් වර්තමානයේ දරු පැටවුන්ගේ කුසගිනි නිවීමට නොහැකිව  කල්ලරාවේ ධීවර කර්මාන්තය  අතහැර කුලී වැඩ සොයා යන ශෝචනීය ඉරණමට මුහුණ දී සිටින බව කල්ලරාවේ රොෂාන් සුරනිමල මහතා  කියා සිටින්නේ,මහත්වු විස්සෝපයකිනි.

පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික  සමාගමක්  විසින් යාං ඔයේ  මෝය කට  අවිධිමත් ලෙස වෙනස් කිරීම මේ සියළු සන්තෑසියනට පාදක වු බව කල්ලරාව ධීවර ජනතාවගේ අදහසයි.  මේ හේතුවෙන්  ජීවනෝපාය අහිමිවීමේ ඛේදජනක ඉරණම පමණක්ම නොව, වැසි සමයේ කල්ලරාව ගම්මානය හා ත්‍රීකුණාමලය පුල්මුඩේ ප්‍රධාන මාර්ගයද අසල්වැසි තිරියාය ගම්මානයේ කුඹුරු ඉඩම්ද  ගං වතුර තර්ජනයට ලක් වන බව රොෂාන් සුරනිමල මහතා   වැඩි දුරටත් පෙන්වා දෙයි. සමස්ත ප්‍රජාවම නියෝජනය කරමින් ඔහු ඉල්ලා සිටින්නේ,තම හදවත බදු කල්ලරාව මෝය කට පෙර තිබු පරිදි සකසා තම පාරම්පරික ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙසයි.

“⁣අපි පාරම්පරික ධීවරයෝ…ගමේ අය ඒ කාලේ ඉදන්ම කළේ, මාදැල් රැකියාවයි, කලපු රස්සාවයි.  2008 හෝ 2009  අවුරුද්දේ පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් කියන පුද්ගලික  සමාගම මේ මෝය කට ගාව තිබුණ ඉඩම හෝටලයක් හදන්න මිළදී ගත්තා. 2012  අවුරුද්දේ වගේ එයාලා ඒ ඉඩමේ ආරක්ෂාවටයි,  ගමේ ආරක්ෂාවටයි කියලා  ගමේ අයම කුලියට අරගෙන වැලි කොට්ටා ගහලා මේ මෝය කට හරස් කළා.ඊට පස්සේ පැරණි මෝය කටේ ඉඳන් මීටර් 800 විතර දුරකින් කලින් තිබ්බ පුංචි මෝය කට තව ටිකක් වැඩිපුර  කපලා  මෝය කට එතනින් තිබ්බා. එදා ඉඳන් මුහුදේ වතුර කලපුවටවත්, කලපුවේ  වතුර මුහුදටවත් යන්නේ නැහැ. මේ නිසා .කලපුවේ විතරක් නෙවෙයි,මුහුදෙත් අද වෙන කොට මාලු හිඳිලා ගිහිල්ලා..මේකට ප්‍රධානතම හේතුව මෝය කට වහපු එක බව තේරෙන කොට අපි ප්‍රමාදයි.මේ මෝය තමා අපේ හදවත.මේක නැත්නම්,කල්ලරාවේ ධීවර කර්මාන්තයක් නැහැ.අපි බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ,අපිට අපේ පරණ මෝය කට තිබ්බ තැනින්ම ආපහු අරන් දෙන්න කියලයි..“

කල්ලරාව ගම්වාසීන් කියන අන්දමට කල්ලරාව මෝය කටෙහි   දකුණු  ඉවුරේ පිහිටි  ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන  ඉඩමක්, පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික  සමාගම විසින්   2008   වසරේදී හෝ ඊට තදාසන්න කාලයකදී   මිළදී ගෙන ඇත්තේ,සංචාරක හෝටලයක් ඉදි කිරීමේ අදහසිනි. කෙසේ වෙතත්,වැසි සමයේ මෝය කටෙන් පිටවන මහා ජල දහරෙන් මෙම ඉඩම ඛාදනයට ලක්වීම වැලැක්වීමේ අරමුණින් අදාල සමාගම කල්ලරාව ගම්වාසීන්ද යොදා ගනිමින්  මෝය කට වැලි කොට්ට ගසා වෙනස් කිරීමට ලක්කළ බව කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ  උප සභාපති රොහාන් සුරවීර මහතා පෙන්වා දෙයි.

 “සමාගමේ අය අපිට කිව්වේ,මෙහෙම වැලි කොට්ටා ගැහැව්වෙ නැත්නම්,ගං ඉවුර සේදිලා ගං වතුරෙන් ගම යට වෙන්න පුළුවන් කියලයි.නමුත් , අපිට පස්සේ තමා තේරු⁣ණේ,අපිව නොමග යවලා එයාලා එයාලගේ ඉඩම බේර ගන්නයි,ඉඩම ලොකු කර ගන්නයි ගහපු  ප්ලෑන් එකක් මේක  කියලා..ඒක තේරුම් යන කොට අපේ මෝය කට සදහටම අපිට නැති වෙලා..“

 පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික සමාගම  මෙම ඉඩම මිළදී ගැනීමට පෙර,මෙම ඉඩමේ අයිතිය ත්‍රීකුණාමලයේ ප්‍රකට ධීවර ව්‍යාපාරිකයෙකු සතුව පැවැති බව කියවේ. එම ව්‍යාපාරිකයාට අයත්  මාදැල් පාඩුව එවකට මෝය කටට එගොඩින්  පිහිටීම හේතුවෙන්   මාදැලට අවැසි බිම මෙගොඩින් සකස් කර ගැනීම සදහා මෙසේ මෝය කට වෙනස් කිරීමේ කූටප්‍රාත්තිය  ආරම්භවු  බව පැරණි ධීවරයන්ගේ අදහසයි.කෙසේ නමුත්,ඉහත කී  ප්‍රකට ධීවර ව්‍යාපාරිකයා විසින් එම ඉඩම ෆාත් පයින්ඩර් පුද්ගලික සමාගමට විකුණා දැමුවද,ඔවුන්ට අයත් මාදැල් පාඩුව තව දුරටත්  ක්‍රියාත්මකව පවතින අතර,මෝය කට වසා දැමීම හේතුවෙන් පසුව සැකසුනු බිම් තීරුව අපහසුවකින් තොරව මාදැල් පාඩුව සදහා යොදා ගන්නා ආකාරය වර්තමානයේ දී ද දැක ගත හැක.

පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික සමාගම විසින් 2011 වසරේදී ගම්වාසීන්ද කුලී කරුවන් ලෙස යොදා ගනිමින් කල්ලරාව මෝය කට වැලි කොට්ට ගසා වෙනස් කිරීමට අමතරව ජී.පී.ආර්.එස්.තාක්ෂණය උපයෝගි කර ගනිමින් රාජ්‍ය අයතන යොදනු ලබන මායිම් කණු වලට සමාන වු මායිම් කණු සිටුවා පැරණි මෝය කට පිහිටි භූමියද සිය ඉඩමේ අයිතියට පවරා ගත් බව මානෙල් පොඩිනේරිස් මහත්මිය කියා සිටි. කෙසේ වෙතත්,කෝපයට පත් ගම්වාසීන් මේ වන විට එම කණු ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බව කියවේ. එහෙත්,වැලි කොට්ට ගසා වසා දැමුණු මෝය කට භූමියේ,අදාල සමාගම විසින් මේ වන විට පයිනස් ගස් රෝපණය කර මෝය කටේ සාක්ෂි මකා දැමීමට කටයුතු කර ඇති බවක් දැකිය හැක

 “මේක අපි පොඩි කාලේ දුවලා පැනලා සෙල්ලම් කරපු මෝය කට…අපි පුල්මුඩේට ස්කෝලෙ පවා ගියේ,මේ මෝය කට හරහා බෝට්ටුවෙන්. වාරකන් කලෙට මේ මෝය කට වැලි වලින් වැහෙනවා. වැසි කාලෙට ඒ වැලි පරේ කැඩිලා ගිහින් කලපුවේ වතුර මුහුදට යනවා.ඔය කාලෙට තමා,මුහුදේ ඉන්න මාලු,ඉස්සෝ,කකුළුවෝ මේ කලපුවට ඇතුල් වෙලා බිත්තර දමන්නේ..නමුත්,2011 දි  ඔය කියන සමාගම අපිවම කුලියට අරගෙන ඒ මෝය කට වැලි කොට්ට ගහලා  වැස්සෙව්වට පස්සේ මේ හැම දෙයක්ම නැති වෙලා ගියා.ඒ විතරක් නෙවෙයි,පරණ මෝය කට තිබ්බ තැන්න පවා එයාලගේ ඉඩමට අයිතියි කියලා කණු හිටෙව්වා.පයිනස් හිටෙව්වා..අපි අහන්නේ බලධාරීන්ගෙන්,වෙරළ හරි කලපු සීමාවේ හරි පස් පිඩැල්ලක්,කඩොලානක් කැපුවොත් අත්අඩංගුවට ගන්න එකේ,මේ හෝටල් ගහන්න ඉඩම් ගත්තු සමාගම් කොහොමද එහෙම කණු දාලා ඉඩම් මායිම් සලකුණු කළේ…එයාලට නීතියක් කියලා දෙයක් නැද්ද මේ රටේ..? “ මානෙල් පොඩිනේරිස් මහත්මිය ප්‍රශ්න කර සිටි.

පසුගිය කාලයේ  ඇති වු ගං වතුර තත්වයන් හමුවේ,සිය ගම්මානය බේරා ගැනීමට ස්භාවිකව වැලි වලින් වැසී ගිය මෝය කට කපා  ජලය බැස්සවීමට  ඉදිරිපත්වු ගම්වාසීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන බනධනාගාර ගත කිරීමට කුච්චවේලි පොලිසිය 2011 වසරේ දී කටයුතු කර තිබුණි.ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ උපදෙස් හා දැනුම් දීම් මතයි. අනීතික ලෙස මෝය කට වසා දැමීමට එරෙහි නොවු කුච්චවේලි පොලිසියේ නීතිය කල්ලරාව ධීවරයන් අරභයා ක්‍රියාත්මක වී ඇත්තේ,ඒ අන්දමිනි.

තම සමාගමට අයත් ඉඩමක් හරහා ඇල මාර්ගයක් කපා ඉඩම විනාශ කර හා ඉඩම දෙකඩ කළ බව කියමින් නන්දන හේවගේ නැමැති අයෙකු 2011.02.05 වන දින ත්‍රීකුණාමලය දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව කුච්චවේලි පොලිසියේ අපරාද විමර්ශන ඒකකය විසින් 2011.02.12 වන දින කල්ලරාව ගම්මානයට ගොස් සිදුකල විමර්ශනය මගින්ද කුච්චවේලි මහෙස්ත්‍රාත්වරයා වෙත  BR/K/162/PC/11   යොමු නඩු අංකය මගින් කරුණු පැහැදිලිකර ඇත්තේ,කල්ලරාව ගම්වාසීන් විසින් කල්ලරාව මුහුදු තීරයේ නව මෝය කටක් කපා  ඉහත සඳහන් ඉඩමට අනර්තවයක් සිදුකර ඇති බවයි.

2011 වසරේ සංශෝධිත වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව යම් ගංගාවක මෝය කට ආශ්‍රීතව සිදුවන ක්‍රියාවලීන් නියාමනය සිදුවනුයේ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුව මගිනි.ඒ අනුව ගංගාවක් මුහුදට වැටෙන මෝය කටේ සිට රට තුළට ලම්භකව අඳිනු ලබන කිලෝ මීටර් 2 ක වු සීමාව කළමනාකරණය කිරීමේ බලය පැවරී ඇත්තේ,එම දෙපාර්මේන්තුව යටතටය.ඔවුන්ගේ අනුමැතියකින් තොරව කිසිදු ආකාරයක සංවර්ධනයක් කිරීමේ හෝ බලයක් කිසිවෙකුටත් නොමැත.යම් හෙයකින් එවැනි සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම්,ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සැකසීම,එය මහජන අදහස් සඳහා විවර කිරීම කළ යුතු අතර,අනුමැතියකින් තොරව එය ක්‍රියාත්මක කළ නොහැකිය.

පුද්ගලික සමාගමක් විසින් කල්ලරාව මෝය කට වසා දැමීම සම්බන්දයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුව වෙතින් පළමු වර ලබා ගත් තොරතුරු වලට අනුව අදාල ආයතනය සදහන් කර ඇත්තේ,ගම්වාසීන් කියන අන්දමට මෝය කට වසා දැමීමක් සිදුව නොමැති බවයි. එය කාගේ උවමනාවක් මතද යන්න කිසිවෙකුත් නොදනී.කෙසේ වෙතත්,දෙවන වරටත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකදී එකී ආයතනය දන්වා ඇත්තේ,ඒ සම්බන්දයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතින බැවින් පසුව තොරතුරු ලබා දෙන බවකි.කල්ලරාව මෝය කට වසා දැමීම සදහා තම ආයතනයේ අනුමැතිය කිසිවෙකුටත් ලබා දී නැති බව  වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය  ප්‍රාදේශීය ඉංජිනේරු  එම්.තුලසිදාසන් මහතා අප කළ විමසීමකදී අවධාරණය කර සිටියේය.

කල්ලරාවේ මෝය කට වසා දැමීම සම්බන්දයෙන් ලැබුණු මහජන පැමිණිලි සම්බන්දයෙන් විමර්ශනය කිරීමට පැමිණි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය කාර්‍යාලයේ නිළධාරීන්, අමුතුම ආකාරයේ යෝජනා කිහිපයක් ගම්මුන්ට ඉදිරිපත් කළ බවක් ද වාර්තා වේ.

“අපි මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කියපුවහම එයාලා අහනවා මේ මෝය කට වෙන තැනකින් දෙන්නද කියලා…අපි ඒකට විරුද්ධයි.අපිට ඕනේ අපේ කලින් තිබුණු මෝය කටමයි කියලා කිව්වහම එයාලා හරි විහිළු කතාවක් කියනවා.එයාලා කියනවා ඉස්සර මෝය කට තිබ්බේ මෙතනින්මයි කියලා දිවුරුම් ප්‍රකාශ දෙක තුනක් අරන් එන්නලු..මීට අවුරුදු දහයකට පහළොවකට එහා තිබ්බ තත්වය චන්ද්‍රිකා ඡායාරූප  හරහා ගන්න පුළුවන් බව ධීවරයෝ වෙච්ච අපිත් දන්න එකේ,මේවා මහ විහිළු කතා..,අපි ඒකත් එයාලට ගිහින් දුන්නා..ඒත්,තවම එයාලා ඒක අධීක්ෂණය කරනවා කියලා තමා කියන්නේ..” එසේ කියන්නේ,කල්ලරාව සුළු පන්න ධීවර කාර්මිකයෙකු වන සුමිත් ප්‍රියන්ත මහතායි.

සුප්‍රකට සමාගමක් විසින් කල්ලරාව මෝය කට වසා දමා ධීවර ප්‍රජාව අගතියට පත් කිරීම සම්බන්දයෙන් අප ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී හර්මන් කුමාර මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘’ අපි දකින දේ තමා ව්‍යාපාරිකයන්ගේ උවමනාකම් ඉටු කිරීමට කටයුතු කරන  රජයන්,ජනතාවගේ සාධාරණ උවමනාකම් ඉටු කරන්න කටයුතු කර නැහැ.අපි අවධාරණය කරන්නේ,මේ මෝය කට වෙනස් කිරීම තුළින් කලපුවට වෙච්ච බලපෑම් වෙනස් කිරීමට රජයන් පියවර ගත යුතුයි කියන එක.වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව ධීවරයන්ට කියනවා නම්,කලින් මෝය කට තිබිච්ච තැන සොයා දෙන්න කියලා ඒක හරිම අසාධාරණ කථාවක්. ඒ වගේම විහිළුවක්..මොකද මේ රටේ වෙරළ තීර ආශ්‍රීත සියළු තොරතුරු දත්ත වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව සතුයි.  ධීවර කළමනාකරණ පනත යටතේත්,වෙරළ සංරක්ෂණ පනත යටතේත් එහි කළමනාකරණ කටයුතු අයිති වෙන්නේ, වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවට. ධීවරයෙකුටවත් අවසරයකින් තොරව වෙරළේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් කරන්න බැහැ. හැබැයි,දිගු කාලයක් මුළුල්ලේ යාන් ඔය මුහුදට වැටුන මෝය කට වෙනස් කරලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව දිගින් දිගටම කටයුතු කරනවා නම්,මේ රජයත් ධීවර ප්‍රජාවට කරන්නේ බරපතල අසාධාරණයක්.  මේ නිසා ධීවර ප්‍රජාව බරපතල ආර්ථික අවපාතයකට මුහුණ දීලා තියෙනවා.අනිත් පැත්තෙන් පරිසර පද්ධතියට කර ඇති බලපෑම අති විශාලයි. මේ සම්බන්දයෙන් වත්මන් ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට පෙර  පැහැදිලිවම කතා කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔවුන්ට විශාල වගකීමක් තියෙනවා මේ ‍‍‍‍ඓතිහාසික වැරැද්ද ඔවුන්ගේ ආණ්ඩුව යටතේ හෝ  නිවැරැදි  කරන්න.මොකද එදා ඔවුන් කිව්වේ,අපිට මේවා කරන්න බලය නැහැ.ඒ නිසා බලය දෙන්න කියලා. දැන් ඒ  බලය ලැබිලා තියෙනවා.අපි කියන්නේ,දැන් ධීවරයන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලයි…’’

කල්ලරාව මෝය කට වසා දැමීමට තම ආයතනයේ අනුමැතිය ලබා දී නැති බවක්,වෙරළ සංරක්ෂ   හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ඉංජිනේරුවරයා කියා සිටියද,ෆාත් පයින්ඩර් සමාගමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2011.09.09 වන දින යොමු අංක CC/P/GEN/42/C ,ලිපිය  මගින් වෙරළ සංරක්ෂන හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණි හේවගේ යන අය විසින් මේ සදහා අනුමැතිය ලබා දී ඇති බව හෙලිදරව්  කර ගැනීමට ලියුම්කරුට හැකි විය.එම අනුමැතිය ලබාදී ඇත්තේ,කළු ගල් හෝ සිමෙන්ති යොදා නොගෙන විකල්ප ක්‍රමවේදයක් මගින් අදාල කටයුත්ත සිදු කරන ලෙසයි.ධීවරයන්ගේ ධීවර කටයුතු වලට බාදාවක් නොවන සේ එය ක්‍රියාත්මක කළයුතු බවත්,වෙරළ තීරය මහජන කටයුතු වෙනුවෙන් විවර විය යුතු බවත්, විශේෂයෙන් එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්,වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් ෆාත් පයින්ඩර් පුද්ගලික සමාගම වෙත ලබාදී ඇති අනුමැතිය සම්බන්දයෙන් අදහස් දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික පරිසරවේදී සජීව චාමිකර මහතා කියා සිටින්නේ,2011 සංශෝධිත වෙරළ සංරක්ෂණ පනතට අනුව එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ බලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව සතුව ඇතත්, ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර, එය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර, ඊට  මහජන අදහස්  ලබා ගත යුතු බවයි.එම මහජන අදහස් හි ස්භාවයන් මත පමණක් එබඳු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවට හැකි බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

කෙසේ නමුත්,එවැනි ව්‍යාපෘතියක් සදහා මහජන අදහස් විමසීමක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිදුව නොමැති බව අප කළ විමසීමකදී  කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය තහවුරු කර සිටියේය.

කල්ලරාව මෝය කට වසා දැමු බවට ගම්වාසීන් චෝදනා කර  සිටින ෆාත් පයින්ඩර් පුද්ගලික සමාගමට අයත්  මෙකී ඉඩම, මේ වන විට පවරා ඇත්තේ,සෙන්ටිනල් රිඑලටි  නම් පුද්ගලික සමාගමකට වන අතර,එය ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමට අයත් සමාගමක් බව අප කළ සොයා බැලීමේදී තහවුරු විය.ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් ජාලය වන්නේද,ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමයි. සෙන්ටිනල් රිඑලටි පුද්ගලික සමාගමේ සභාපතිත්වය දරන්නේද,බර්නාඩ් ගුණතිලක මහතායි.මේ සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට 0112306000 දුරකතන අංකයට ඇමතුවද,පටිගත කළ හඬ පටයෙන් පසු කිසිවෙකුත් සම්බන්ද කර ගැනීමට නොහැකි විය.

කල්ලරාව මෝය කට වෙනස් කිරීම හා ඒ මගින් සිදුවී ඇති ආර්ථික සහ පාරිසරික පරිහානිය සම්බන්දයෙන් මෙයට පෙර මහත් උද්යෝගයෙන් කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සංවිධායක අරූන් හේමචන්ද්‍ර මහතා වර්තමාන ජාතික ජනබලවේග රජයේ,නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.මේ සම්බන්දයෙන් අප නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතාගෙන්  කළ විමසීමකදී, අරූන් හේමචන්ද්‍ර මහතා පැහැදිලිවම කියා සිටියේ,අනීතික ලෙස වසා දැමු කල්ලරාව මෝය කට යළි විවර කිරීමට මේ වන විටත් කටයුතු සිදු කරමින් සිටින බවයි. එසේම මේ සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කර අදාල උපදෙස් හා නිර්දේශද නිකුත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

කල්ලරාව මෝය කට යළි විවෘත කිරීම සම්බන්දයෙන් පවතින තත්වය පිළිබදව අප    කුච්චවේලි සහකාර ප්‍රාදේශීය ලේකම් බාමා මුරලිදරන් මහත්මියගෙන් විමසීමක් කළෙමු.එහිදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය  දක්වන්නේ මෙවන් අදහසකි.

 “ කල්ලරාව ධීවරයන්ගෙන් ලැබුණු පැමිණිලි වලට අනුව අප පසුගිය දිනක මේ ස්ථානයේ ඒකාබද්ධ නීරීක්ෂණ චාරිකාවක් සිදුකළා..ඒකෙදී අපි අපේ නිර්දේශ අදාල අනෙකුත් ආයතන වෙත ලබාදී තිබෙනවා. අපි ලබා දී තිබෙන නිර්දේශය වන්නේ,මෙම මෝය කට නැවත විවර කිරීමට අනෙක් ආයතන විරුද්ධ නොවේ නම්,අපේ විරෝධයක් නැහැ කියන එකයි. කොහොම වුනත්, පැරණි ගූගල් සිතියම් නිරීක්ෂණයේදී මෙම මෝය කට මෙයට පෙර මෙම ස්ථානයෙන් විටින් විට පැවති බවට සාක්ෂි තිබෙනවා…  “

කල්ලරාව ධීවරයන්ගේ එකම  ඉල්ලීම වන්නේ, සුප්‍රකට සමාගමක් විසින් සොරා ගත්  තම මෝය කට පෙර තිබු පරිදිම තමන්ට ලබා දෙන ලෙසයි. .  එහිදී අදාල රාජ්‍ය ආයතන  වල නිලධාරීන්  හෝටල් හා සමාගම්කරුවන්ගේ පැත්තේ නොව,ස්වභාව ධර්මයාගේ පැත්තේ සිට ගෙන “ගැහැණු මුහුද”නැවත වරක් ගැබ්බර කරණු ඇති බව ධීවරයන්ගේ ප්‍රාර්ථනයයි.

“ ආපු හැම රජයක්ම අපිව රැවැට්ටුවා..හැබැයි දැන් තියෙන්නේ,ජාතික ජනබලවේග  ආණ්ඩුවක්.මේ ආණ්ඩුවෙනුත් මේ මෝය කට ඇරලා  දෙන්න බැරි නම්,අපි ආයේ කවදාවත් මේ මෝය කට ඉල්ලන්නේ නැහැ…  “  එසේ කියන්නේ, කල්ලරාවේ සුමිත් ප්‍රියන්ත මහතාය

 

 

 

 

 

 01.අදාල සමාගම විසින් සවිකර ඇති නාම පුවරුව සහ අදාල  ඉඩම පෙන්වන ධීවරයන්

02.පැරණි මෝය කටත් කල්ලරාව මුහුදු තීරයත් වෙන් කෙරෙන පටු වෙරළ තීරය

03.2011 වසරේදී වැලි කොට්ට ගසා වසා දැමීමට  පෙර කල්ලරාව මෝය කට පැවති ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් සහ වර්තමානයේ පවතින තත්වය පෙන්නුම් කරන ගුවන් ඡායාරූපයක්

04.ජනතාව නොමග හැරීමේ අරමුනින් සමාගම විසින් සවිකල බව කියන සීමා මායිම් දැක්වෙන ගල් කණු

05.තව දුරටත් ඉතිරිව ඇති පැරණි වැලි කොට්ට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *