ගාල්ලේ ගිලන් රථ ලෙඩ වෙයි

තරංග ගුණරත්න

බලපිටිය මූලික රෝහලේ ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු සඳහා අවිධිමත් ආකාරයෙන් ස්ථානමාරු ලබාදීමට එරෙහිව දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැරසේ

බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයක ප්‍රධාන විදුලි පහනක් අක්‍රිය වී තිබියදී රාත්‍රි කාලයේ ධාවනය කිරීම, සයිරන් නළාව, සාමාන්‍ය නළාව ආදී ගිලන් රථයන්හි විවිධ අඩුපාඩු සහිතව ධාවනය අනතුරුදායක බව පෙන්වාදීම සම්බන්ධයෙන් උරණව බලපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් මෙම ස්ථාන මාරුව සම්බන්ධ තීරණය ගෙන ඇති බව සඳහන් වේ.මේ වන විට මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති සමයක බලපිටිය මූලික රෝහලේ තාවකාලිකව යොදවා ඇති රියදුරන් සිටියදී, ස්ථීර රියදුරන් දෙදෙනෙකු නීත්‍යානුකූල නොවන ආකාරයට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.
එම අත්තනෝමතික ස්ථාන මාරුව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා සමඟ සාකච්ඡා කර විසදා ගැනීමට නොහැකි වූ බැවින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම සංගමය පවසයි.
එ අනුව අප්‍රේල් මස 10 දින  (අද) පෙ.ව. 7.00 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම සෞඛ්‍ය රියදුරන් හා ගිලන්රථ රියදුරන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමර්ග වලට අවතීර්ණ වන බව ප්‍රකාශ කර සිටී.,එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අප්‍රේල් මස 11 වන දින පෙ.ව. 7.00 සිට අප්‍රේල් 12 දින පෙ.ව. 7.00 දක්වා ගාල්ල, මාතර, හම්බන්තොට ශිලන්රථ රියදුරන් හා අනෙකුත් සියළුම සෞඛ්‍ය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වන බව එම සංගමය දන්වා සිටී
බලපිටිය මූලික රෝහලට අනුයුක්තව ස්ථිර සේවයේ යෙදී සිටින සෞඛ්‍ය රියදුරන් දෙදෙනාගේ නීත්‍යානුකූල නොවන ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙසත්, දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු නියෝග නිසි ආකාරයෙන් සිදු කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.

කෙසේ වුවද එම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් පියවර නොගන්නේ නම් නැවත දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට අවතීර්ණ වන බව එම සංගමය අවධාරණය කර සිටියි. තවද මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් නොවන බවත්, රෝගීන්ගේ ජීවිත අවදානමේ හෙළීමේ වගකීම එම සංගමය බාර නොගන්නා බවත්, එම වගකීම බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සහ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා  විසින් භාර ගත යුතු බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය පවසයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *