යසංග මහවිතාන
මහා පරිමාණ රේගු බදු වංචාවක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිවිල් පුරවැසියෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙසේ එම පුද්ගලයා විසින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඇත්තේ රේගුව හරහා සිවිලින් ශීට් ආනයනයේදී සිදුකර ඇති මහා පරිමාණ රේගු බදු වංචාවක් සම්බන්ධයෙනි.
එම ආනයනකරුවන් විසින් රේගුවට වැරදි තොරතුරු සපයා ඇති බවත්,එම තොරතුරු මත රේගුව මගින් ලබා ගන්නා ලද වැරදි වර්ගීකරණ අංකයක් යටතේ වසර ගණනාවක් සිවිලින් ශීට් රේගුවෙන් නිෂ්කාශනය කර ගෙන යෑමෙන් ශ්‍රී ලංකා රජයට බලවත් පාඩුවක් ඇති කර ඇති බවත් ඔහු පවසයි. රුපියල් කෝටි 27 ක පමණ වන මෙම බදු වංචාව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස එම සිවිල් පුරවැසියා විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අංගොඩ, හීනටිකුඹුර, ගාමිණි රාජකරුණා නැමැත්තා මෙසේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා තිබේ.මෙම අයථා ගනුදෙනුව සිදු ව ඇත්තේ 2014, 2015, 2016 වර්ෂවල බව ද එම ලිපියේ තොරතුරුවල තවදුරටත් සටහන් කර ඇත.
අදාළ ආනයන කරුවන් මෙම ක්‍රියාදාමය තුළින් වර්ෂ 9 ක දී බිලියන 06ක පමණ ලාභයක් උපයාගෙන ඇති බව මෙම පෙත්සම ඉදිරිපත් කළ අංගොඩ හීනටි කුඹුර, ගාමිණී රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
2014,2015,2016 වර්ෂ වල සිදුවී ඇතැයි පැවසෙන මෙම වංචාවෙන් සම්බන්ධයෙන් වසර ගණනාවක් ගත වුව ද කිසිදු විමර්ශණයක් සිදු කර නොමැති බව ද ඔහු පවසයි..මෙම මහා පරිමාණ ගනු දෙනුව යට ගැසීම සම්බන්ධයෙන් සමහර රේගු නිලධාරින් ද සිටින බවත්, මේ සම්බන්ධයෙන් වූ විමර්ශන ලිපි ගොනු 18 ක් නිසි විමර්ශනයකින් තොරව වසා දමන ලද බවත් එම ලිපියේ සඳහන්ය.
අවස්ථා කිහිපයකදීම මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය දැනුවත් කර ඇතත් ඊට නිසි අවධානයක් යොමු කර මෙම වංචාව හෙළිකර ගැනීමට කටයුතුය කරනු නොලැබූ බවත් ඔහු චෝදනා කරයි.
මුදල් අමාත්‍යංශයේ සමහර නිලධාරින් රේගුවේ ඉහළ දුෂිත කිලධාරින් ආරක්ෂා කරන ප්රවනතාවයක් ද දැකිය හැකි බවට චෝදනා කරන රාජකරුණා මහතා , මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 9 ක් සිදු කර ඇතැයි කියන සමහර විමර්ශන සම්බන්ධව කිසිදු විශ්වාසයක් නොමැති බව ද එම ලිපියෙන් අවධාරණය කරයි.
අදාළ සිද්ධියට සම්බන්ධව ලිපි ගොනු ( පී.ආර්.ඊ.වී/000340/2016) අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට ලබා දී ඇති බව ද ඔහු පවසයි.
රේගුවේ සමහර වර්ගීකරණ විශේෂඥයන් හරහා මෙම අයථා බදු ගනු දෙනු මගින් වංචාවක් සිදු ව ඇති බවත් ලෝක රේගු සංවිධානයේ අන්තර් ජාතික වර්ගීකරණ නීති පවා අවභාවිතා කර ඇති බවත් එම ලිපියේ සඳහන් කරන රාජ කරුණා මහතා පියවි ඇසින් පමණක් වුවද හඳුනාගත හැකිපසුබිමක වර්ගීකරණ විශේෂඥයින්ට මෙම සිවිලිම් ශීට් හඳුනාගැනීමට නොහැකිවීම පිටුපස යම් දේශපාලන සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව අවධාරණය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර අදාළ පුද්ගලයන්ගේ තරාතිරම නොසලකා ජනතාවට අහිමි කරන ලද රේගු බදු මුදල් ලබා ගන්නට පියවර ගන්නා ලෙස ඔහු තම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
