කෝටි 09 කට අධික කේරල ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට

   වන්නි රොමේෂ් මධූෂංක

         යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ක් සමගින් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පැවසීය.

යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද (03) අලුයම් කාලයේදී උතුරු නාවුක විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 197 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් සතුව තිබූ බෝට්ටුවද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම සහ පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය කයිට්ස් පොලීසිය වෙතට බාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

මේ අතර මන්නාරම මරිච්චකට්ට ප්‍රදේශයේදී මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සහ වයඹ නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව ඊයේ (02) දින සිදුකරන ලද සෝදිසියකදී නිවසක් තුළ සඟවා රුපියල් මිලියන 12 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 31 ක් අත්අඩංගුවට ගණු ලැබීය.

පසුව නිවසේ හිමිකරු සමගින් කේරල ගංජා ප්‍රවාහනයට යොදාගත් බවට සැකකෙරෙන යතුරු පැදියක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙතට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *