කෝටි ගණනක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදෙස් යුවළක් අත්අඩංගුවට 

ලක්මිණි නදීෂා – කොළඹ 

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

              මොවුන් ඉන්දීය ජාතික විවාහක යුවළක් වන අතර , සැමියා 32 හැවිරිදිය . බිරිද 29 හැවිරිදිය . ඔවුන් ඩුබායි සහ ඉන්දියාව අතර ව්‍යපාරික  කටයුතු වල නිරත වී සිටින්නන් බව රේගු නිලධාරීන් මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

               ඔවුන් මෙම කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 400 ක් බරැති  ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගය , පිටතට එහි ගන්ධය නොපැතිරෙන ආකාරයට පොලිතීන් ආවරණ යොදා ඇසුරුම් කර , ඒවා ලී පෙට්ටි තුළ අසුරා , ඒ මත රෙදි ආවරණයක් සිදු කර , ඒවා මත , මත්ද්‍රව්‍ය ඉව කර හදුනා ගන්නා  සුනඛයන් නොමග යැවීම සදහා කපුරු කුඩු කර ආලේප කර තිබුණි .

              එසේම මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් , ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙකෙහි , දෙපස ඉතා සූක්ෂම ලෙස ගම් යොදා අලවා , යළිත් ඇණ ගසා , තවදුරටත් ගමන් මලු තුළ , සොයා ගත නොහැකි වන ආකාරයට සකස් කර තිබුණි .

                මොවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන ඊයේ පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

            මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *