කුළුබඩු අපනයනයෙන් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක්

මොහොමඩ් ආසික්

මෙට්‍රික් ටොන් 44,262 ක්  අපනයනය කර රුපියල් මිලියන 89,217 ක ආදායමක් ලබයි

 

අපනයන කෘෂි බෝග අපනයනය  මගින් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ 2024 වසරේදී අපනයන කෘෂි බෝග මෙට්‍රික් ටොන් 44,262 ක් අපනයන කර රුපියල්  මිලියන 89,217 ක  විදේශ විනිමය ආදායමක් උපයා ඇති බවයි.

මහනුවර පේරාදෙණිය ගැටඹේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී  පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂවරයා මේ බව සඳහන්  කළේය.

2024 වසරේදී වැඩිම අපනයන ආදායමක් ලබා ගෙන ඇත්තේ ගම්මිරිස් අපනයනයෙන් වන අතර එම වසරේ අපනයන කර ඇති ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,968 කි .එමගින් උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 51,524 ක් බවද සංවර්ධන අධ්‍යක්ෂවරයා කියයි.ගම්මිරිස් අපනයන මගින් ශ්‍රී ලංකාව වසරකට ලබා ගත් වැඩිම ආදායමද මෙය බවත් අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය. මෙම ගම්මිරිස් අපනයනයන්ගෙන් වැඩිම ප්‍රමාණය අපනයන කර ඇත්තේ ඉන්දියාවට වන අතර එයට අමතරව ඇමරිකාව, ජර්මනිය  එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයකටම ගම්මරිස් අපනයන කර  ඇති බවත් ඒ මහතා කිය.

2023 වසරේදී  අපනයන කර ඇති ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14,255 ක් වන අතර එමගින් උපයා ගෙන ඇති  මුදල රුපියල් මිලියන  29,329 කි. 2023 වසරට වඩා 2024 වසරේදී   උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය සියයට 75.67 කින්ද අපනයන කර ඇති ගම්මරිස් ප්‍රමාණය 2023  ට වඩා 2024 දී සියයට 82.23 කින්ද ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

එසේම මෙම වසරේදී පුවක් මෙට්‍රික් ටොන් 8,852 ක් අපනයය කර රුපියල් මිලියන 11,598 ක්ද සාදික්කා මෙට්‍රික් ටොන් 2,317 ක් අපනයන කර රුපියල් මිලියන 4,648 ක්ද උපයා ගෙන තිබේ . එයට අමතරව  කහ, ඉඟුරු ,කෝපි ,එනසාල්, කරාබු, වැනිලා, බුලත් ,ගොරකා ,කොකෝවා ඇතුළු අනෙකුත් බෝග  මෙට්‍රික්  ටොන් 7,023 ක්  අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 20,526 ක මුදලක්ද උපයා ගෙන ඇති බවත් සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා තව දුරටත් කීය.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *