කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැති පාතහේවාහැට  ආදාහනාගාරය

හේවාහැට-චම්පික දසනායක 

පාතහේවාහැට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට මියගිය සිය ඥාතීන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට හා සේවය ලබාගැනීමට 2016 වසරේ ඉදිකරන ලද නිසල සෙවන ආදාහනාගාරය සභා බල ප්‍රදේශයෙන් දුර බැහැර ප්‍රදේශයක පිහිටීම නිසා තමන්ට එම ආදාහානාගාරයේ සේවාව ලබා ගැනීමට නොහැකිවී ඇති බව පාතහේවාහැට ජනතාව සඳහන් කරති. 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරීගෙන් සිදුකළ විමසීමකට අනුව 2016 වසරේ පාතහේවාහැට උඩුවෙල ගම්මානයේ ඉදිකර ඇති මෙම ආදාහනාගාරය ගොඩනැගීම සඳහා රජය මගින් එවකට රුපියල් 9290223.44 ක මුදලක් වැයකර ඇත 

විශේෂයෙන් ආදාහානාගාරයක් ඉදිකිරීමේදී එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි හා ප්‍රදේශයම ආවරණය වන  මධ්‍යස්‌ථ බිමක ස්ථාපිත කළයුතු වුවත් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පාලනය යටතේ පවතින නිසල සෙවන ආදාහනාගාරය එවකට සභාවේ පාලනය හෙබවූ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත, නිසි සැලසුමකින් තොරව, එම ප්‍රදේශයේම අවසන් මායිම වන උඩුවෙල ගම්මානයේ ඉදිකිරීම  සිදුවූ බවට ජනතාව චෝදනා කරති .

පාතහේවාහැට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රධානම නගරය වන තලාතුඔය නගරයේ සිට උඩුවෙල නිසල සෙවන ආදාහානාගාරය දක්වා කිලෝමීටර් දහයක පමණ දුර ප්‍රමාණයක් ඇති අතර මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ පාලනය යටතේ පවතින අම්පිටිය මැද්දේපතන ආදාහානාගාරය දක්වා කිලෝමීටර් හයක පමණ දුර ප්‍රමාණයක් ඇති නිසා තලාතුඔය හා අවට ගම්මානවල ජනතාව වැඩි පිරිසක්  සිය ඥාතීන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට අම්පිටිය මැද්දේපතන ආදාහනාගාරය තෝරා ගනිති .

මීට අමතරව පාතහේවාහැට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි අනෙක් නගරය වන මාරස්සන හා අවට ගම්මාන වල ජනතාව සිය ඥතීන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ පාලනය යටතේ පවතින ආදාහානාගාරය වෙත ගමන් කරන අතර පාතහේවාහැට ,දෙල්තොට හා ගලහා ප්‍රදේශවල ජනතාවට තමන් පදිංචිව සිටින ප්‍රදේශයේ ආසන්න ස්ථානයක ආදාහනාගාරයක් නොමැති වීම නිසා  අවමංගල්‍යයක අවසන් කටයුතු සිදුකිරීම ප්‍රදේශයේම පිහිටි පොදු සුසාන භූමියක සිදු කරන බව සඳහන් කරති. 

2021 වසරේ ජනවාරි මස ආරම්භයේ සිට 2024 වසරේ දෙසැම්බර් 31දා දක්වා ලබාගත් තොරතුරු අනුව ආදාහනාගාරය තුළ සිදුකර ඇති මුළු ආදාහන ප්‍රමාණය තුන්සිය හතක් (307) වන අතර 2021 වසරේ සිට 2024 වර්ෂ  අවසානය දක්වා ලැබූ ආදායම වසරින් වසර වෙන වෙනම ගත්විට 2021 වසරේ රුපියල් 9,68,000/= 

2022 වසරේ රුපියල්  11,28,000/=

2023 වසරේ රුපියල්  1,95,000/=  ලෙස හා

2024 වසරේ රුපියල් 9,36,000/= වශයෙන් දක්වා ඇත. 

ආදාහනාගාරයක් ඉදිකිරීමේ අපේක්ෂාව ලාභ ඉපයීම නොවන නමුත්, උඩුවෙල නිසල සෙවන ආදාහනාගාරය තුළින් ප්‍රදේශයේ බහුතර ජනතාවට සේවයක් ඉටු නොවනවා සේම, රටේ ජනතාවගේ බදු මුදල් තව තවත් වැය කරමින් නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යන්නේද පිළිබඳව විමසිය යුතුව ඇත .

ප්‍රාදේශීය සභා තොරතුරු අනාවරණය අනුව 2021 වසරේ ආදාහනාගාරයේ නඩත්තුව අලුත්වැඩියාව මෙන්ම සේවකයන් දෙදෙනාගේ වැටුප් සඳහා වැය කර ඇති මුදල රුපියල්  12,85,834 /= කි. 

2022 වසරේ එම මුදල රුපියල්  19,76,026/= කි .

2023 වසරේ  මුදල රුපියල්  32,17,501 /= ලෙසත්  2024 වසරේ රුපියල්  18,65,742/= ආකාරයට දක්වා තිබේ 

ජනතාවට සේවය සැලසීමට යැයි කියමින්  රටේ ජනතාවගේම මහජන මුදල් වැය කරමින්  දේශපාලනඥයන් ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ නිසා ජනතාව පත්වන පීඩාවට  විසඳුම් ලබාදීමට කිසිවෙකු පියවර නොගැනීමද කණගාටුවට කරුණකි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *