කාන්තාවන් අතින් අදටත් මී තෙල් හිඳෙන නාඋල- ඕපල්ගල පැරණි ගමට ගිය ගමනක්

 

නාඋල -ඉන්දික  අරුණ කුමාර

වස විසෙන් තොර නිරෝගිමත් ජාතියක් පැතතූ පැරැණ්නන්ට අනුව සිය ආහාර රටාවන් හොඳින් හඳුනාගත් අපේ අතීත මිනිසුන්ගේ ක්‍රියාවලීන් පිළිබදව අනාවරණය වන බොහෝ කරුණු අදටත් වලංගු වන්නේය.

නිසි පරිදි ආහාර අනුභවය සඳහා අවශ්‍ය ආහාර තමන් විසින්ම සකසා ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා ලදි.

අතීතයේ එසේ සිදුවුවද වත්මන වන විට අධි ධාවන යුගයක ජීවත් වනවා යැයි කියන වත්මන් සමාජය විසින් හිතාමතාම ඉවත හළ බොහෝ දෑ අදටත් භාවිතයට ගන්නා පැරණ්නන් පිළිබදව අසන්නට පවා ලැබීම සතුටට කරුණකි.

වසර සිය ගණනකට එපිට සිට ආහාර රස ගැන්වීම සදහාත් විවිධ රෝගාබාධ සදහාත් භාවිතයට ගන්නා ලද මී ගස සම්බන්ධයෙන් යළි යළිත් කතාවතක් ඇති වන්නේ එහි ඇති බොහෝ ගුණ දායක කාරණා හේතුවෙනි.

මාතලේ – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඕපල්ගල නම් වු පැරණි ගම්මානයේ අදටත් දක්නට ලැබෙන මී තෙල් හිඳීමේ  කටයුත්ත අතීත ශ්‍රී වීභූතිය අපට යළි පසක් කර සිටියි.

ගම්මානයේ හැම තැනකම පාහේ මිදුල් වල වනා ඇති මී ඇට ඊට කදිමට සාක්ෂි සපයනු ලබයි.

පාඨක ඔබ අප මෙවර රැගෙන යන්නේ ඕපල්ගල ගම්මානයේ මී තෙල් හිඳීමේ කටයුත්ත පිළිබදව ඔබ නොදත් බොහෝ දේ කියා දෙන්නටය.

වව්ලන් විසින් කා දමන ලද මී ඇට අළුයම් කාලයේ අහුලා, පසුව වියළා ගැනීමෙන් අනතුරුව මී තෙල් හිදිමේ කටයුතු ගම්මානයේ වැඩිහිටි කාන්තාවන් විසින් ආරම්භ කරනු ලබන්නේය.

පැරණි ක්‍රමයට මී ඇට වංගෙඩියේ කොටා තම්බාගැනීමෙන් අනතුරුව ඒ සදහාම සැකසු තැම්බීමේ ක්‍රියාවලියකින් පසු  මී තෙල් හිඳිනු ලබයි.

ලග්ගලට පමණක් ආවේනික තෙල් හිඳීමේ  ‘පැස ‘ සැකසීම සිදුකරනු ලබන්නේ කාන්තාවන් විසින්ම වීම ද මෙහිලා විශේෂත්වයකි.

ලී ආධාරක ආශ්‍රයෙන් සැකසෙන මෙම පැස තුළින් තෙල් නිස්සාරනය කර ගැනීම සිදුකරනු ලබයි.

ව්‍යාංජන සදහා මීතෙල් යොදා ගැනීම,හිසේ ගෑම,රෝගාබාධ රැසක් සදහා යොදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් මී තෙල් පැරණ්නන් භාවිතයට ගෙන ඇත.

ඕපල්ගල වැසියන් ද වාර්ෂිකව සිදුකරනු ලබන මී තෙල් හිඳීම තුළින් ඔවුන්ගේ ගෘහ ආශ්‍රිත අවශ්‍යතා සඳහා පමණක් නොව විකුණා ආදායමක් ලබාගැනීම සඳහාද ඔවුහු මී තෙල් උපයෝගි කර ගනිති.

මී තෙල් හිදීමෙන් අනතුරුව ඉවත් වන ද්‍රව්‍ය ‘ මී මුරු ‘ ලෙස හදුන්වන අතර, ඒවා අත් පා වේදනාවන් සදහා තැවීමට හා මැසි මදුරුවන් පලවා හැරීමට භාවිත කරති.

 Mabhuca යන   උද්භිත විද්‍යාත්මක නාමයෙන්  හැදින්වෙන මි ගසේ ශාක  විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකි වන්නේය.

 මෙම විශේෂ 7 න් 4ක්ම අප රටට ආවේනික ශාක වීම ද අප ලද භාග්‍යයකි.

මීගස ඍජු කඳ සහිතව අඩි 50 ක් 60 ක් ක් පමණ උසට වර්ධනය වන ශාකයකි.

මී මල් වල ඇත්තේ කහපාටට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙනසුළු බීජ දක්නට ලැබෙයි. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය. අප රටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මී ගස බව ඕපල්ගල ගැමියෝ කියා සිටිති.

දේවානම්පියතිස්ස රජතුමා මීගස කැපීම මරණ දණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස එකල සඳහන් කර තිබුණත්  , 1833 සුද්දන් විසින් ඉදිරිපත් කළ කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මී ගස කැපීමට ලංකාවේ වැසියන්ට අවසර ලබාදී ඇති බව මී ගස සම්බන්ධයෙන් ඉතිහාසය සොයා යන්නෙකුට හමුවන තොරතුරුය.

 එපමණක් ද නොව සුදු ජාතිකයින් අපේම  රටේ වැසියන් ලවාම මීගස් කපාහෙලු බවත් ඉතිහාසයේ සඳහන්ය.

 

ගමේ පැරණ්නන්ට අනුව ඔවුන්ගේම භාෂාවෙන් සඳහන් කළ විට

‘මී මල් පිපෙන කාලෙට, ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමගුල්. වවුලන්  මී ගස් වලම තමයි වාසය කරන්නෙත්.  මී ගෙඩි හා මල් කන වවුලන් කුඹුරු පුරා වසුරු දානවා. වසුරු ගිනිපෙට්ටියක් පමණ ප්‍රමාණයක යූරියා කිලෝ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා අපි දන්න තරමට.‘

ඒ ඕපල්ගල වැසියන්ගේ අදහස්ය.

 එසේම මී ගසේ කොළ කුඹුරට වැටුණම ඒ කොලත් කුඹුරට අගනාම පොහොරක් ලබාදෙන බව ද ගැමියෝ කියා සිටිති.

‘අපි කියන මෙම මීගසට ස්වාභාවිකවම පලිබෝධ පාලනය කරන්න පුලුවන්.

ගොයමට හානි කරන ගොයම් මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා. ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නොමැති කාලෙට කෘමීන්ව ආහාරයට ගනු ලබනවා.

 මේ ආකාරයට  වී වගාවට සහ වෙනත් බොහෝ වගාවලට හානිකරන පලිබෝධකයන් ස්වභාවිකවම පාලනයක් සිදුවෙනව.

කුඹුරු අක්කරයකට සෑහීමට ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුලුවන්. ඒ නිසාමයි මී  ගසට ‘ජාතියේ පොහොර ගස’ යන අන්වර්ථනාමය හිමි වෙලා තියෙන්නේ.

මී ගසේ මල්, ගෙඩි සහ තෙල් විවිධ ආහාර සඳහා යොදාගන්නවා. මී මල් වලින් කැවුම් හා හැලප හදනවා.

තෙල් සිඳීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලත්.  මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් අතීතයේ අපේ පැරැණ්නෝ යොදාගෙන තිබෙනවා.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ හෙළ වෙදකම සදහා  මී ගස ප්‍රයෝජනයට ගෙන තිබීමයි.

අදටත් මෙම ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නා බව ඕපල්ගල ගමේ පැරණි ගැමියන් කිහිප දෙනෙකුම කියා සිටියෝය.

 රක්තපාත, චර්මරෝග, කැඩුම්බිඳුම්, සර්පවෙදකම උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ගර්හනි රෝග, ක්ෂයරෝගය, මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සඳහා මී ගසේ විවිධ කොටස් යොදා ගැනීම අතිතයේ පටන් අදටත් සිදුවන්නකි.

පෙර දවස  අද මෙන් විදුලිය නොතිබූ අතර ඒ සඳහා මීතෙල් වලින් කුප්පි ලාම්පු සකසා පාවිච්චි කර ඇති බව ගැමියෝ අප හා කියා සිටියහ.

 එසේම ඒ මගින් සාමාන්‍ය  කුප්පි ලාම්පු වලින් ඇතිවන ඇස් දැවිල්ල ඇති නොවන බව  ද ඔවුහු කියා සිටිති.

සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රි  කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරන බව අප දන්නා කරුණකි.

නමුත් මීගස දහවලටත් රාත්‍රියේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ශාකයකි.

එනිසාම මි ගස  එදා අතීතයේ මුතුන් මිත්තන් රැක ගත්තා සේම  ප්‍රයෝජනයට ගත්තා සේම අපට අද දවස තුළ කළ යුතු ඉතාම වැදගත් කාරණාවක් ඉතිරිකර තිබේ.

එනම් එදා පැරැන්නන් විසින් ප්‍රයෝජන ලබාගත් මේ ගස අද දවසේද රෝපණය කර රැක ගැනීමයි.

වසර ගණනක් පුරා නොනවත්වාම සිය ගම්මානයේ වැඩිහිටියෝ මී තෙල් සැකසීම සිදුකරන අවස්ථාවන් වල දි තම තමන්ගේ දු දරුවන් ද ඒ සඳහා එක්කර ගැනීම  සිදුකරති

තමන් විසින් පවත්වාගෙන එනු ලැබු මේ සද්කාර්යය වත්මනටත් දායාද කිරිම ඔවුන්ගේ ඒකායන අරමුණ වි තිබේ.

මහා රෑස්ස ලෙස වැඩි ඇති මී ගස් යටට ඇට අහුලන්නට යැම මේ ඕපල්ගල ගමේ වයෝවෘද්ධ කාන්තාවන්ට විනෝද ජනක ක්‍රියාවකි.

මී ඇට ඇහිඳීම සදහා අලෝකය ලබාගැනීම වෙනුවෙන් සැකසු ‘ගොලෝවක් ‘ (ලාම්පුවක්) රැගෙන යෑම ඔවුනගේ සිරිතකි.

ඇට අහුලා, අව්වේ වියලා, පසුව වංගෙඩියේ කොටා, අනතුරුව කුල්ලෙන් පොලා, විශේෂයෙන් සැකසු මුට්ටියක තම්බා ගැනීමෙන් පසු මී තෙල් හිඳීම ආරම්භ කරණු ලබයි.

මෙහිදි මුට්ටියකට ‘ කඩ බැදීම‘ ලෙස හඳුන්වනු ලබන ,ජලය සහිත මුට්ටියේ කටට රෙදි කඩක් බැඳ ඒ තුළට කොටන ලද මී ඇට දැමීම සිදුකරනු ලබයි.

හුමාලයෙන් තැම්බීම සිදුකිරිම පිණිස මෙම ක්‍රියාව අනුගමනය කරන අතර මුට්ටියෙන් වාතය පිටවීම වැලැක්වීම සඳහා බාහිරින් මැටි තැවරිම ද සිදුකරණු ලබයි.

පැය භාගයක පමණ කාලයක් තැම්බුනු මී ඇට පසුව ලී ආධාරයෙන් සැකසු ‘ පැස ‘ තුළට එක්කර තැම්බු මී ඇට තෙරපීමකට ලක්කරනු ලබයි.

කිසිදු යාන්ත්‍රික ක්‍රියාවලියකින් තොරව සිදුවන මෙම ක්‍රියාවේ දී පැරණි කාන්තාවන් මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

මෙහි දි මද රස්නෙන් යුතු මී තෙල් වෙනම භාජනයකට එක්වන අතර,  තෙල් නිස්සාරණය කිරිමෙන් අනතුරුව ඉතිරිවන මී ඇට වල රොඩු කොටස් ‘ මී මුරැවට ‘ ලෙස හඳුන්වනු ලබයි.

කලක් භාවිතයට ගත හැකි වන ලෙස මේවා කල් තබාගන්නා අතර හේනේ කුඹුරේ වැඩ කටයුතු සිදුකරනු ලබන පිරිමි පාර්ශවයන්ගේ ඇතිවන විවිධ වේදනාවන් සදහාත් වාත රෝග සදහාත් තැවීම් කටයුතු සදහා මෙම මී මුරුවට භාවිතයට ගනු ලබයි.

පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ගේ විවිධ වාත රොග සඳහා මෙන්ම මදුරුවන් පලවා හැරිම සඳහා දුම් ඇල්ලීම වැනි කටයුතු සඳහා ද මී මුරුවට භාවිතයට ගනු ලබයි.

ඕපල්ගල ගමේ අදටත් ඉදෙන බටු බැදුමකට, එලවලු ව්‍යංජනයකට මෙන්ම පපඩම් බැදීමකට වුවද මී තෙල් භාවිත කරනු ලබයි.

 

පොල්තෙල් වලට වඩා මී තෙල් වල තියෙන විශේෂත්වය මොකක්ද ?

‘කිසිම වස විසක් නැ. අනිත් කාරණේ තමයි සෙම ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ගොඩක් හන්දි රෝග වලට මී තෙල් ගන්නවා බාහිරින් ආලේප කරන්න ශරිරය අභයන්තරයට මී තෙල් ඇතුළු වුනාමත් බොහෝ රෝග ගණනාවකට ගුණ දෙනවා.

ඉතින් පොල්තෙල් වලට වඩා මී තෙල් වැදගත් වෙන්නේ ඒ හින්දයි.‘

අප යොමුකල ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ ඕපල්ගල ගැමි කාන්තාවකි.

වසර ගණනාවක් තිස්සේ සිංහල ජනයාට මහත් අස්වැසිල්ලක් වු මෙවැනි දේශීය ඖෂධ වර්ග වලට යළි ජිවය ලබාදීම වත්මනේ වහ වහා සිදු කළ යුතු කාරණාවකි.

ශිෂ්ඨ යැයි සම්මත විවිධ කාරණා වලට පිටරැටියන් සේ කටයුතු කරනවාට වඩා අපේ දේ අගයමින් මනා සෞඛ්‍ය සම්පන්න ජාතියක් බවට පත්වීම සදහා එක්ව කටයුතු කිරිම ඕපල්ගල වැසියන් රටට කියාදෙන පාඩම වන්නේය.

එනිසාම මී ගස වැනි නිරෝගිකමේ ප්‍රතිමුර්ථිය රකිනා ශාක වඩ වඩාත් ආරක්ෂාකර ගැනීමේ කාලය එළඹ ඇතැයි අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

 

 

ඡායාරූප

01 සිය මුනුබුරු මිනිබිරියන් සමග මී ඇට අහුලන ඕපල්ගල කාන්තාවෝ.

02 මී ඇට වේලමින්

03 ඕපල්ගල ගම්මානයේ ඇති වසර සිය ගනනක් පැරණි මී ගස්

04 මී ඇට කොටන ඕපල්ගල කාන්තාවක්

05 කොටන ලද මී ඇට තැම්බිම සදහා සැරසෙමින්

06 පැසෙන මී තෙල් ගන්නා ඕපල්ගල කාන්තාවෝ

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *