ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි ද සිල්වාට

බෙලිහුල්ඔය  එස්. රත්නයක.

ශ්‍රී ලංකා ක්‍රිකට් 2025-2027 වසර 2 ක කාලසීමාව සඳහා නව නිලධාරීන් පත් කර ගැනීම 31 වැනිදා පෙරවරුවේ  පැවැත්වුණු අතර ෂම්මි ද සිල්වා සිව්වැනි වරටත් SLC සභාපති ලෙස පත්ව තිබේ.  ඔහු නිතරඟයෙන් එම තනතුරට පත් වූ තෙවැනි අවස්ථාව වේ. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් අනතුරුව පැවති පළමු නිලවරණයද මෙය වේ.නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම 146 සිට 60 දක්වා අඩුකර තිබීමද විශේෂයෙන් කැපී පෙනුණි. සභාපති ලේකම්, උප සභාපති, උපලේකම් ඇතුලු  නිලධාරීන් හත් දෙනකු පත් කර ගැනීම මෙහිදී සිදුවිය. පළාත්,දිස්ත්‍රික්,පරිපාලිත, අනුබද්ධ  සංගම් සහ ක්‍රීඩා සමාජයන්හි ඡන්ද හැටක් මෙවර නිලවරණයේදී භාවිතා විය.

මෙවර ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශවීය සටනක් බවට පත් වෙද්දී වත්මන් සභාපති ෂම්මි ද සිල්වා ක්‍රිකට් සටනට එක් වූයේ එම පාර්ශවයේම තවත් තිදෙනෙක් සටනට කැඳවමිනි. කෙසේ වුවත් ශම්මි ද සිල්වා නිතරගයෙන් එම ධුරයට පත්වූයේ එම අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් වීමත් සමගය. ෂම්මි ද සිල්වා වත්මන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයාද වෙයි. රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු  උප සභාපතිවරු ලෙස තේරී පත්වූහ. ලේකම් ලෙස බන්දුල දිසානායක, උපලේකම් ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද, උප භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ  යන මහත්වරු තේරීපත් වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වැනි නිලවරණය අද (මාර්තු 31). කොළඹ දී පැවැත්වූයේ නිලවරණ කමිටු සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලිනි ගුණරත්න මහත්මියගේ  අධීක්ෂණය යටතේය .

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *