නාඋල , ඉන්දික අරුණ කුමාර


ලෝකයේ බිහිවීම සම්බන්ධයෙන් බොහෝ මතවාද ඉදිරිපත් කරන විද්වතුන් විසින් යොදාගන්නා ලද උපමා උපමේයන් පිළිබදව සොයා බලද්දි අපට හමුවන සාක්ෂි බොාහෝය.
මිනිසා විසින් ආහාර සොයා යෑමේ කාල පරිච්ඡේදය පිළිබදව සොයා බලද්දී ඔවුන් මුහුණ දෙන ගැටළු හා ජනාවාස බිහිවීම ආදී කරුණු අපට ඉතිහාසය තුළින් සොයා ගත හැකිය.
ශිෂ්ඨාචාරයක බිහිවීම, ආරම්භ වීම ආදී කරණු විමසද්දි ලංකාවේ මුල් ජනාවාස හා ඒ ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් පිළිබද විමසීම ලාංකිකයින් ලෙස අපට වැදගත් වන්නේය.
අනාදිමත් කාලයකට නෑකම් කියන අපේ හෙළ ඉතිහාසයේ අක්මුල් සොයා යෑම එතරම් පහසු කාර්යයක් නොවේ. එනමුත් වසර පන්දහකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පිරිසක් යැයි හදුන්වා ගත් ලංකාවේ අපුරු මානව කොට්ඨාශයක් සිය ජිවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් තුනී කර ගන්නට යොදාගත් මෙවලම් පිළිබදව අපට හමුවු සාක්ෂි අපමණය.
ඒවායෙන් බිදක් පාඨක ඔබ වෙනුවෙන් මෙසේ දිග හැරෙන්නේ අපේම හෙළයින්ගේ අප්‍රකට විස්කම් පිළිබද තොරතුරු ඔබ හා බෙදා ගන්නටය.
අපට යාබදව පිහිටි ඉන්දියාවෙන් හමුවන මොහෙන්දජාරෝ හා හරප්පා ශිෂ්ඨාචාර වල දි හමුවන ජනාවාස මෙන්ම විවිධ ඇදහිලි ද අපට මුණ ගැසෙයි.
ඒ තුළ තාරා දෙවගන ඇදහීම , ගහ කොල වන්දනාව මෙන්ම ඉර හද වන්දනාව දක්වා අචේතනික හා සචේතනික වස්තුන් කෙරෙහි මිනිසාගේ කැමැත්ත විග්‍රහ වෙයි.
එනමුත් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගම්මාන ගණනාවක පවතින විවිධ ඇදහිලි ක්‍රම හා විස්වාසන් ලොඹු ඩැහැගන්වන සුළුය.
ජිවිතයේ විවිධ බාධාවන් පිළිබද කවියෙන් පිළිතුරු දෙන හා කවිය අවියක් කර ගත් මේ මිනිසුන් පිළිබද අපට බොහෝ කාරණා ඉදිරිපත් කළ හැකිය.
බණ්ඩාර දෙවියන් හෙවත් රාවණා රජු මුලික කරගත් ජිවන රටාවකට හුරුවු නාරංගමුව,රණමුරේ,පල්ලේසිය,උඩසිය,ඇටැංවල,පොත්තෙටවල ආදි ගම්මාන වල ජිවත්වන පිරිස් අදටත් හමුවෙයි.
සැතපුම් ගණන් පයින් යන ඕනෑම බර වැඩක් පහසුවෙන් සිදුකරන මේ පිරිස් ඉතා සරළව ජිවත් වෙති.
වත්මන් පරපුරේ සාමාජිකයින් වන ඔවුන්ගේ දුවා දරුවන් මේ සුන්දර ගම් පියසෙන් ක්‍රමිකව ඉවත් වෙත්දි මහළු පිරිස් මෙන්ම ඇතැම් තරුණ කොටස් ද මේ සොදුරු මිනිසුන්ට ආදරය කරති.
ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ට දායාද වු ඔවුන් සතු වූ බොහෝ දෑ සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින කැමැත්ත නිසා වෙනි.
හාත්පසින් වට වූ ගිරි ශිඛර, විසල් වන පියස, ගම මැද වෙල් යාය, ගලන දොළ දිය පාර, ගෙයින් ගෙය අපූර්ව රටාවකට පිහිටූවා ඇති ගල්වැට ආදිය ඇසූරෙහි වැඩුණු රසික ගැමි ජනයාගේ මූවගින් නිකුත් වන මෙම ජන කවි ප්‍රධාන වශයෙන් කොටස් පහකට පමණ බෙදා වෙන් කළ හැකිය.
01ලකේගල පිළිබද වර්ණනා ඇතුළත් කවි.
02 පුරා වෘත්ත පිළිබද කවි.
03 ස්වභාව ධර්මය පිළිබද කියැවෙන කවි.
04 එදිනෙදා ජිවිතයේ දුෂ්කරතා පිළිබද කියැවෙන කවි.
05 ජිවිතයේ මුහුණ දුන් විවිධ සිද්ධින් අලලා සැකසුන කවි ඒ අතර වෙයි.
‘එපිට කොනට කළු පානා කැලේයා.
මෙපිට කොනට ලග්ගල මී මුරේ යා.
දෙසිය දෙකක් උස ඇති ගෝමරේ යා.
සොඳයි පරකාස ලක මීමුරේ යා “
‘උඩ මොරටූව තුන් හිස් ගල ළඟ සැදුණා
කටූ කිතුල ද කිණිහිරි ගල වට සැදුණා
බම්බූ ගලද රයිතලාව ළඟ සැදුණා
මෙගල් තුනට නායක ගල ලක සැදුණා‘
‘උතුරින් ලකේගල දකුණින් යහන් ගල
අවරින් කොරටූවේ කඳු වැටිය සූකො මල
නැගෙන හිරින් මොර ගහ වැටූණ තැන ඇල
මෙලෙසින් අසන් මායිම් මෙගමට විපූල‘
ලග්ගල ජන ජීවිතයේ අනෙක විද දුක්ඛ දෝමනස්සයන්ට කදිම විසදුමක් ලෙස ජන කවිය ප්‍රචලිත වී ඇති අතර එවායේ නිර්මාපයෙකු ස්ථිර වශයෙන් දක්නට නොැලැබෙයි.
‘දුකේ බැරිය ඇස ඇරලා බලන්නට
සැකේ බැරිය පද කරලා කියන්නට
බයේ බැරිය කළු ගල මත නගින්නට
ලකේ ගල සොඳයි දාගැබ බඳින්නට‘
රාවණ පුවතට පණ පෙවෙන විවිධ ජන කවි ලග්ගල පරිසරයේ අදටත් අසන්නට ලැබෙයි.
ඒ අතර රාවණ රජුගේ වික්‍රමයන් මෙන්ම ගාම්භිරත්වය මොනවට කියා පාන මේ කවිය ඊට කදිම උදාහරණයකි.
‘උයන්ගමුව පෙර සිට වැව් බන්දානා
රාම සැරෙන් එන වෙඩි සැර අසමානා
රාවණා යූදට වෙඩිසැර බිම්බානා
ඉල් මස අඳුර මීමුරෙ ලක දුම්බානා‘
‘සූරිය උදාවන විට ලක ගල මුදුනේ
බැලුවම මැණික් නිවසේ රුව වට දිලුණේ
බින්තැනි පස් පළාතට මේ ගල පෙනුණේ
සෑම සියලු දෙවි නිවහන ලෙස යෙදුණේ
අධික ලෙස වෙහෙසි ස්වභාවිකව ගලනා දිය දෝතකින් සිය ගත සන්තර්පනය කරන්නා ලග්ගල ගැමියා සිය මුව විවර කරන්නේ ලයාන්විතවය.
හිතේ ඇදුන බොහෝ දේ කවියට හරවා ගනිමින් එයට එළිසමය එළිවැට එක් කීරිමට ද උපන් හපන්කම් ඇත්තවුන් වන ඔවුන් අධ්‍යාපනය නැමැති කැඩපතෙන් බොහෝ විට මුහුණ නොබැලුවෝ වෙති.
‘එල්ල පාඩු නැති මීමුරේ ගමට වෙලා
බෙල්ල කැඩෙයි ගල් කඩ හෙළෙ වී ඇදලා
ගොල්ල සමඟ නෑදෑයන් එකතු වෙලා
යන්ට යමවූ මීමුරෙ ගම හැර දමලා‘
“රොටියක් උයාපන් බඩ ගින්නට කන්ට
රූපිටි නොකර ඉව්වොත් පූළුවනි කන්ට
මානක් කියාපන් මේකෙන්ගැල වෙන්ට
පාර කියාපන් ගල මූදුනට යන්ට”
තමන්ට පැමිණෙන ඕනෑම දුක්ඛ දොමනස්සයක් එකෙනෙහි විසදා දෙන මෙන්ම තුන්කල් හි ජනී ජනයා අරක්ෂා කරණා රාවණ නිරිදුන් සම්බන්ධයෙන් ලග්ගල ගැමියා තුළ ඇත්තේ නිර්ව්‍යාජ භක්තියකි.
එනිසාම කට වරද්දා ගැනීම පසෙක තබා ලද ඕනෑම ඉසිඹුවක දී රාවණ දෙවියන් සිහිකිරිම අදටත් සිදුවන්නකි.
කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ.
රාවණ සිරුර ඇත මහකුඩු ගල මුදුනේ.
ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොල කදු මුදුනේ.
ඊතල ලකුණ ඇත ලග්ගල මුදුනේ.
සොබාවික පරිසරයේ පහස ලබමින් අදටත් කල් ගෙවන මේ ලග්ගල අපුරු මිනිසුන් ජිවත් වන පරිසරය පිළිබද හුදු වචනයකුදු නොකියා මේ ලිපිය අවසන් කිරිම එක්තරා ගුණමකු කමක් සේ හැගී යයි.
එනිසාම නකල්ස් ලෙස හැදින්වෙන මේ සුන්දර පරිසර පද්ධතියටම ආවේණික සත්ව හා ශාක පිළිබදව ඔබ විසින් දැනගත යුතු කරුණ රැසක් පවතියි.
මේ ශාක හා සත්ව කොට්ඨාශ ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් හමුනොවන ආවේනික ලක්ෂණ වලින් පිරී පවතියි.
ඒ අතර නකල්ස් පරිසර පද්ධතියෙන් පමණක් හමුවන පතන් අල ශාකයට (Brachystelma lankana) හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.
මේ අතර හමුවන දුම්බර පෙති අං කටුස්සා (Ceratophora tenn)
දැක ගත හැකි වන්නේ දුම්බර වනාන්තර පෙදෙස් වලින් පමණි.
දුරලභ වු ඖෂධිය ශාක අතර වන රාජ (Anoectochilus setaceus),
බිං කොහොඹ(Munronia pinnata), බෝඹු (Symplocos cochinchinensis), මිල්ල(Vitex altissima) , මී(Madhuca longifolia),
කුඩා හැඩයා (Huperzia squarrosa), මහා හැඩයා (Lycopodium phlegmaria) , හාතවාරිය (Asparagus racemosus) , නාපිරිත්ත(Hibiscus furcatus) ,නෙල්ලි (Phyllanthus emblica) ආදිය ප්‍රමුඛය.
දිවිය පුරා රැස්කරන්නට යමක් නොමැති බව වටහාගත් ලග්ගල ගැමියා තුළ රදවාගත හැකි බඩු බාහිරාදිය පිළිබදව ද ඇත්තේ ඉතා සියුම් ක්‍රියාකාරකම්ය.
සිය ප්‍රධාන ජිවනෝපාය වශයෙන් අදහන ලද ගොවිතැනට අවශ්‍ය උපකරණ මෙන්ම මුලුතැන්ගෙයට අවශ්‍ය කළමණා (උපකරණ) පමණක් උපයා සපයා ගැනීමට අතීත ලග්ගල වැසියන් පුරුදු වී සිටියහ.

කෙසේ නමුත් නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුට තේ කහට එකක් හෝ නොදී යවන්නට ලග්ගල ගැමියා කැමතිම නැත.
ඉඩ ලැබෙන ඕනෑම අවස්ථාවක කවියට මුල් තැන දෙමින් ඒ තුළ නිදහසේ ජීවත් වන්නට පෙරුම් පිරු බොහෝ ගැමියන් මේ ලග්ගලින් නික්ම ගොස් හමාරය.
‘ උඩ පතනේ සිටලා මම බලන කොට
බැලුම වැටුනෙ අර සිරිලක ගල මැදට
රන්කෙදි ලෙසට එන්නයි බොරදිය හොදට
මද සුළගින් වැදුනයි කළුනික ගසට “
‘ අනේ අපේ රුව ඇති පිටවල පතන
සුද්දෝ ඇවිත් ඒපතනට සැපත්වුන.
අතු ගානට පැල් තනලා මුර කෙරුන.
කඩ මුදුනට යන්නට පාරක් සැදුන.‘
දිවිය පුරා බොහෝ පිං රැස් කර ඇතැමෙක් නිරාමිසය සොයති. සොබාදම් මාතාවගේ සැබෑ දාරක ප්‍රේමය වටහාගත් ලග්ගල ගැමියෝ ඇයට ආශිර්වාද කරති; ඇය වටා ජීවත් වෙති.ගසක පොත්තක් හෝ ගලවා ගන්නට පෙර ඔහු සොබාදම් මාතාවට ඒ පිළිබඳව කියති.කන්නලව් කරති. කෘතගුණ දක්වති
නිර්ව්‍යාජ ගැමිත්වය පිළිබදව හා සැබැ මානව හිතවාදි වන ගැමීයා පිළිබද සිය පන්හිද අවදිකළ විමලරත්න කුමාරගමයන්ගේ අයියනායක කවි පංතියේ කවි දෙකකින් මේ ලිපිය අවසන් කරමි.
‘ සංහිද ළග බාරයට කිරි ඉතිරි ම.
කෙම්මුර දවස් වල පහනින් සැරසී ම.
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම.
මා නොකෙරුවත් නොකළෙමි එය ගැරහි ම.‘
‘සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්‘
01 දුම්බර වන පෙත –


02 ලග්ගල ගැමියා බාවිත කල මෙවලම්



