නික්කි රණසිංහ
පවුල් අටසියයක් පමණ ජීවත්වන තම වතු යායේ මියයන පුද්ගලයින් භූමදානය කිරීම සඳහා ඉඩක් නොමැති බව පවසමින් අද දින වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.
ඒ හැටන් වැවිලි සමාගමට අයත් වටවල, කැරලිනා වතු යායට අයත් බිංඔය වතුයායේ කම්කරුවන් පිරිසකි. ඔවුන් මෙම උද්ඝෝෂණ සඳහා මෘතදේහයක් ද රැගෙන විත් තිබුණි.
උද්ඝෝෂණයේ නිරත වූ කම්කරු ජනතාව පවසා සිටින්නේ හැටන් ඔය ආසන්නව ඇති වතු යායට අයත් සුසාන භූමිය පුද්ගලයෙකු විසින් පෞද්ගලිකව අයිති කරගෙන සිටින බවයි.
මෙම පුද්ගලයා එම සුසාන භූමිය තමාට නීත්‍යානුකූලව අයිති බව පවසමින් වතු කම්කරුවන්ගේ භූමදාන කටයුතු කිරීමට ඉඩ නොදෙන බැවින් තමන් අතිශය පීඩාවට පත්ව සිටින බව ඔවුහු පවසති.
එහෙයින් සිය වතු යායේ මියයන පුද්ගලයින් භූමදානය කිරීමට ඉඩමක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

