නිමල් කොළඹිස්ස – මහනුවර
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 150ක් සම්පූර්ණ බ්වීම නිමිත්තෙන් කඩුගන්නාවේ ස්ථාපිත කළ ජාතික දුම්රිය කෞතුකාගාරය විනාශමුඛයට පත් වෙමින් පවතී.
දුම්රිය සංවත්සරය නිමිත්තෙන් වර්ෂ 2014 දෙසැම්බර් මස 27 වන දින කඩුගන්නාව දුම්රිය ස්ථානයට යාබදව පිහිටවූ මෙම කෞතුකාගාරය දුම්රිය බලවේග කට්ටල 07ක් ඇතුලු පෞරාණික උපාංග රැසකින් සමන්විතය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සැමරුම නිමිත්තෙන් මෙරට පළමු දුම්රිය මාර්ගය වන මහනුවර – කොළඹ දුම්රිය මාර්ගයට යාබදව මෙම ජාතික කෞතුකාගාරය ඉදි කොට තිබේ. දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණය දිනා ගත් මෙම ස්ථානය මේ වන විට අභාවයට යමින් පවතින්නේ එය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා යැයි ප්‍රදේශවාසීහු පවසති.
සංචාරක ආකර්ශනීය නගරයක් බවට මහනුවර පත්කරමින් තිබියදී එහි ප්‍රවේශ උප නගරයක් වන කඩුගන්නාවට දර්ශනීයත්වයක් එක් කිරිමට ජාතික දුම්රිය කෞතුකාගාරය ආරම්භක සමයේදී සමත් විය.
ගල් අඟුරු ඇන්ජිමක්, ආරම්භ යුගයේදී භාවිතා කළ ඇන්ජින් 06ක්, පළමු පංතියේ මැදිරියක්, දැවයෙන් නිම කළ ආරම්භක අවස්ථාවේ දුම්රිය මැදිරියක් ආදියෙන් මෙම ස්ථානය සමන්විතය. අශ්වයන් විසින් අදින ලද දුම්රිය මැදිරියක්, ආපන ශාලාවක් සහිත දුම්රිය මැදිරියක් ද මෙම ස්ථානයේ මහජන ප්‍රදර්ශනයට තබ ඇති අතර ආවරණයක් නොමැතිව අව් වැසි හේතුවෙන් එම මැදිරි දිරාපත්වීමට ලක්වී ඇතැයි ප්‍රදේශවාසීන් කියති.
ජාතික දුම්රිය කෞතුකාගාරය මෙරට දුම්රිය සේවාව ආරම්භ කළ අවස්ථාවේදී භාවිතා කළ මෝටර් ට්‍රොලි, ගිනි නිවස උපකරණ, තනි දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට උපයෝගී කර ගත් ටැබ්ලටයක්, වෙලාව බලා ගැනීමට භාවිත කළ වසර 160ක් පැරණි හිරු තැටියක් ආදී කෞතුක භාණ්ඩ රැසකින් සමන්විතය.
මෙම කෞතුකාගාරය ඉදි කොට වසර 10ක් පමණ ගත වී ඇති නමුත් එම පෞරාණික දුම්රිය මැදිරි සුරක්ෂීත කර ගැනිම සඳහා ක්‍රමවේදයක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති අතර එළීමහනේ පවතින බොහෝ කෞතුක භාණ්ඩ විනාශ වෙමින් පවතී.
කෞතුකාගාරය නැරඹීම සඳහා දේශිය හා විදේශීය සංචාරකයන් ද පාසල් සිසුන් ද මෙම ස්ථානය නැරඹීම සඳහා පැමිණෙන නමුත් මේ වන විට ප්‍රවේශ මාර්ගය පැහැදිලි නොවීම ඇතුලු හේතු රැසක් නිසා පැමිණෙන පිරිස ද සීමා වී තිබේ.
එමෙන්ම ඇතැම් මැදිරි මරදානේ ඉදිවන කෞතුකාගාරයක් වෙත රැගෙන යාමට දුම්රිය බලධාරීන් වසර කිහිපයකට ඉහතදී කටයුතු කළ අතර කඩුගන්නාව නගර සභාව සහ ප්‍රාදේශවාසීන්ගේ මැදිහත්වීම මත එම උත්සහය වැළැක්විණි. ඒ අනුව ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාවේ ස්ථාපිත කර ගැනිම සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාව ද ඒකමතික අනුමැතියක් ලබා ගෙන තිබේ.
ස්ථාපිත කොට වසර 10ක කාලයක් ගතවී ඇති දුම්රිය කෞතුකාගාරය රැක ගැනීම සඳහා අවදානය යොමු විය යුතු යැයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ඡායාරූප
- කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය
- පැරණි දුම්රිය මැදිරි සහ ඇන්ජින්
- දුම්රිය ඇන්ජිමක ඉදිරිපස දසුනක්
- මෝටර් ට්‍රොලියක්







