ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් -මධ්‍යම පළාත් ආණ්ඩුකාර හමුවක්

මොහොමඩ් ආසික්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙෆන්ස් (Mr. Paul Stephens)   මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතර හමුවක් අද 20 වන දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදී දෙ‍රට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා  සංවර්ධන වැඩපිළිවෙල, විශේෂයෙන් රටේ අධ්‍යාපනයේ  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සහ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති  සම්බන්ධයෙන් කරුණු  සාකච්ඡාවට බඳුන් විය.

විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දියහැකි සහාය ලබාදීමටත්, කෘෂිකර්මය හා සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රය විශේෂයෙන්ම කිරි ගව පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡා විය.

මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතා  විසින්  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කරන ලද අතර මෙම අවස්ථාවට මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින්  නියෝජිතයින්ද  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල,  ආණ්ඩුකාර සහකාර ලේකම්  චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *