දිනේෂ් රූපසිංහ – කොළඹ

කැස්බෑව නගර සභාව වෙත පසුගිය කාලයේ පිලියන්දල නගරය අවට විවිධ ස්ථාන වල පදිංචි ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව , නගරය තුල අවිධිමත් ලෙස රාත්‍රී කාලයේ අනවසරයෙන් කසල බැහැර කරන පිරිස සොයා විශේෂ මෙහෙයුමක් කැස්බෑව නගර සභාව විසින් මේවනවිට දියත් කර ඇත.
කැස්බෑව නගරසභාවේ ලේකම් කල්හාරී නන්දසේන ගේ පූර්ණ අධීක්ෂණයෙන් කැස්බෑව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස මෑතකදී ස්ථාන මාරුවීම් ලබා පැමිණි දිලූප ජයවර්ධන ගේ මූලිකත්වයෙන් , කැස්බෑව නගරසභාවේ සුපර්වයිසර්වරුන් ලෙස සේවය කරන සුරංග විමලජීව, රුවන් ප්‍රේමරත්න, රුවන් ප්‍රියදර්ශන, නිරෝෂ් චාමින්ද, තිලක් විජය කුමාර, සමන් ජයසිංහ, රවිදු ලක්ෂාන්, සමන් කුමාර , ජබුරලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙන්ම පිළියන්දල පොලිසියේ නිල්ධාරීන් ගේද සහායෙන් සිය බලප්‍රදේශයේ අනවසරයෙන් කසල දමන පුද්ගලයන් සොයා රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව කැස්බෑව නගර සභාව සඳහත් කළේය.
ඒ අනුව පසුගියදා පිලියන්දල මොරටුව ප්‍රධාන මාර්ගයේ කොස්පැලෑන පාලම අසල හා සුපිරි වෙළඳසැලක් අසල අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ට නීතිමය කටයුතු සිදු කර ඇත. එම පිරිස පෙරේදා (04) කැස්බෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී පුද්ගලයින් 07 දෙනෙකු වෙත රුපියල් 7500/= බැගින් වූ දඩ මුදල් නියම කර ඇත..අධිකරණය වෙත නොපැමිණි දෙදෙනෙකු වෙත විවෘත වරෙන්තුද නිකුත් කර ඇත.
මෙසේ අනවසර ලෙස කසල බැහැර කල අයගෙන් කිහිප දෙනෙකුම බණ්ඩාරගම ප්‍රදේශයේ සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි පිරිස් බව කැස්බෑව නගර සභාවේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා සඳහන් කලේය.



