උතුරු මැද පළාත් ආයුර්වේද රෝහල වැඩ වරයි

 කිත්සිරි වනසිංහ අනුරාධපුර 

ඇඟිලි සලකුණු යන්ත්‍රය මුල් කර ගෙන අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් ආයුර්වේද රෝහලේ හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (12) සිට නිවාඩු දින රාජකාරි වලින් ඉවත්ව සිටී. 

මේ හේතුවෙන් බාහිර රෝගී අංශයේ මෙන්ම නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ.

රජයේ නිවාඩු දින වල අති කාල ගෙවීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයේ මුද්‍රිත පිටපත් අමුණා එවන ලෙසත් ඉන් බැහැරව අතිකාල දීමනා සිදු නොකරන බවත් පළාත්  ආයුර්වේද කොමසාරිස් ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය විසින් 2025.04.08 දින නිකුත් කරන ලද ලිපියක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

ලංකාවේ ක්‍රියාත්මක බටහිර හා දේශීය වෛද්‍ය රෝහල් පද්ධතිය තුළ මෙතෙක් ක්‍රියාත්මක නොවන ඇඟිලි සලකුණු යන්ත්‍රය සේවක විරෝධයන් නොසලකා ක්‍රියාත්මක කිරීමට පළාත් ආයුර්වේද කොමසාරිස්වරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් නිවාඩු දින රාජකාරි ආවරණයෙන් මෙම පිරිස බැහැරව සිටි.

මීට මාස කිහිපයකට ඉහතදී පළාත් ආයුර්වේද රෝහලේ සේවකයන් හට රාජකාරී වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කරන ලෙසට දැනුම් දී එම යන්ත්‍රය සවි කල ද එය නොසලකා හරිමින් පැමිණීමේ ලේඛනයේ අත්සන් තබා රාජකාරී වාර්තා කළ ද මින් ඉදිරියට අති කාල ගෙවීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍රයේ මුද්‍රිත පිටපතින් බැහැරව ගෙවීම් කිරීම නවතා දැමීම හේතුවෙන් සේවක වර්ජනය ආරම්භ කර තිබේ.

රජයේ රාජකාරි දිනවල දී පෙර පරිදි සේවයට වාර්තා කරන බවත් අති කාල නොගෙවන්නේ නම් නිවාඩු දින රාජකාරි වලින් බැහැරවන බවත් එම තීරණය විසදුමක් ලැබෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රෝහිත ජයතිලක  මහතා Truthlk News වෙබ් අඩවියට පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත ජයතිලක මහතා මෙසේද කීය. 

මේ ඇඟිලි සලකුණු යන්ත්‍රය අපේ රෝහලට ගේන්න මීට අවුරුදු හතරකට පමණ කලින් ඉඳලා සැලසුමක් තිබුණා.නමුත් අපේ විරෝධය මත එය නැවතුනා. වත්මන් කොමසාරිස්වරිය සේවක විරෝධයන් සියල්ල පසෙකලා ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකලා.අපි එය ප්‍රතික්ෂේප කළා. මීට මාස කීපයකට ඉහතදී මේ මැෂින් සවිකරා.අපි ඒක භාවිත කළේ නෑ.සුපුරුදු පරිදි පැමිණීමේ ලේඛනය භාවිත කරමින් රාජකාරි වාර්තා කළා. නමුත් පසුගිය අට වෙනිදා ලිපියක් එවමින් ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත නොකරන්නේ නම් නිවාඩු දිනවල අති කාල ගෙවීම් සිදු නොකරන බවට දැනුම් දීමක් කලා.ඒ නිසා දීමනාවක් නොලබා අපගේ විවේක දිනයක රාජකාරී කිරීමෙන් අපි ඉවත් වුනා.

ඊට විරුද්ධ වන්නටත් සාධාරණ හේතුන් තිබුණා. උදාහරණයක් ලෙස සාමාන්‍ය රාජකාරි දිනයක ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කොට සේවයට වාර්තා කර සේවා මුරය අවසන් වී බැහැර යෑමට යළි ඇඟිලි සලකුණු තබා සේවක හිගය හේතුවෙන් රාත්‍රී කාලයේද සේවයේ යෙදීමට සිදු වුව හොත් ඇඟිලි සලකුණු යන්ත්‍රය එදිනට යළිත් අපේ ඇඟිලි සලකුණ ලබා ගන්නේ නෑ. එසේ තිබියදී රාජකාරියේ යෙදුනද අති කාල සේවාව වෙනුවෙන් ගෙවීමක් හෝ අප රාජකාරියේ නිරත වූබවට සාක්ෂියක් නෑ. මේ ක්‍රියාවලිය ප්‍රායෝගික නැති නිසා අපි මේ කරුණු ඉදිරිපත් කළා. සේවකයන්ට ඇහුම් කන් දීමක් නෑ. කොමිස් මුදලට වහ වැටුණු කොමසාරිස්වරිය මේ මැෂින් ගෙනැවිත් සවිකලා. සේවකයන්ට තව බොහෝ ප්‍රායෝගික ගැටලු පවතිනවා. ඒ සියල්ලක් කීවද ඇහුම්කන් දීමක් නෑ. ඒ නිසා අපි නිවාඩු දින රාජකාරියෙන් ඉවත් වුණා.

සිංහල අලුත් අවුරුදු උත්සවයේ හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබෙන්නේ ලබන 16 වැනිදාට.හිස තෙල් ගෑමේ උතුරු මැද පළාත් රාජ්‍ය උත්සවය එදා සිට සිරිතක් ලෙස සිදු කෙරෙන්නේ මෙම රෝහල් පරිශ්‍රය තුළයි. එය කඩාකප්පල් කරන චේතනාවෙන් තමයි කොමසාරිස්වරිය හිටිහැටියේම මෙම ලිපිය නිකුත් කළේ. 

“මම වැඩ කරන්නේ රනිල් කියන විදිහට” කොමසාරිස්වරිය මගේ මූණටම කිව්වා. රනිල් කිව්වයි කියන කතාව පල කරන්න බැරි නම් ඔබතුමා මේ කතාව ලියන්නත් එපා. හිස තෙල් ගෑමේ උත්සවය සිදු කෙරෙන්නේ උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන්. එහි සංවිධාන කටයුතු වලට හෙද කාර්ය  මණ්ඩලඩල සහ සුළු සේවකයින්ගේ  සහාය නොමැති වුණහම එය කඩාකප්පල් වෙනවා. ඒ හැරෙන්න කඩිමුඩියේ මෙවැනි ලිපියක් නිකුත් කරන්න කොමසාරිස්වරයට උවමනාවක් නෑ. මේ ලිපිය හිස තෙල් ගෑමේ උත්සවය අවසන් වුණායින් පසුව එවන්නට තිබුණා. කොමසාරිස්වරියගේ කඩාකප්පල්කාරී චේතනාව මේ සියල්ලට මුල් වුණා.

මේ පිළිබඳව ආයුර්වේද රෝහල් අධ්‍යක්ෂ ශිරාණි ගුණවර්ධන මහත්මියගෙන් විමසීමක් කළාය. එහිදී ඇය මෙසේ පැවසුවාය.

රෝහල තුළ පවතින සේවක හිගයට විසඳුමක් ලැබුණේ නම් මෙවැනි ගැටළු මතුවන්නේ නෑ. වෛද්‍යවරුන් 18 දෙනෙකු හා එක් විශේෂඥ වෛද්‍යවරයෙකු දැනට රෝහල තුළ රාජකාරී කරනවා. හෙදියන් පස් දෙනයි ඉන්නේ.වාට්ටු හතරක් තිබෙනවා.නේවාසිකව රෝගීන් 116 දෙනකුට ප්‍රතිකාර ලබා දියය හැකියි. නමුත් සේවක ඌනතාවය අතිකාල සේවාවට බලපා තිබෙනවා. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරිය ලෙස දෙපාර්තමේන්තුව මට්ටමෙන් ලැබෙන නියෝග ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා.

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මියගෙන් කළ විමසුමේදී ඇයි මෙසේ පැවසුවාය.

සේවක අති කාල ගෙවීම දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක පැහැර හැර නෑ. ඇඟිලි සලකුණු යන්ත්‍රයේ මුද්‍රිත පිටපත අතිකාල ගෙවීමේදී අනිවාර්යය කිරීම මෙම වර්ජනයට බලපා තිබෙනවා. රජයේ විධිමත් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම නිලධාරි පන්තියේ වගකීමක්.මම ඉටු කළේ එම රාජකාරිය. ගැටුමක් ඇතිකර ගැනීමේ කිසිවක් මේ තුළ ක්‍රියාත්මක නෑ. සේවකයකු අවංකව රාජකාරියේ නිරත වන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍රය බාධාවක් නොවේ. මම කළේ චක්‍ර ලේඛන ක්‍රියාත්මක කිරීමක්. 17 පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් එම ගැටලුවට විසඳුමක් ලබාදීමට නියමිතව තිබියදී තමයි මෙම පිරිස වැඩ වර්ජනයේ නිරත වන්නේ . බොහෝ අය මට විරුද්ධව විවිධ චෝදනා නගනවා. ඒවා නවත් වන්නට බෑ. එසේය කියා රජයේ චක්‍ර ලේඛන අණ පනත් වලින් බැහැරව මට කටයුතු කිරීමේ හැකියාවකුත් නෑ. මේ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. ඒ නිසයි රජයේ හා දෙපාර්තමේන්තුවේ අණ පනත් ක්‍රියාවට නංව තිබෙන්නේ. මොන බාධක පැමිණිය ද සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන ජාතික හිස තෙල් ගෑමේ පළාත් උත්සවය පැවැත්වීමට කටයුතු යොදනවා. එය පළාත් ආණ්ඩුකාර  තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා යයි පළාත් ආයුර්වේද කොමසාරිස්වරිය වැඩි දුරටත් පැවසුවාය.

කිසි වුවද මෙම තත්වය හමුවේ ආයුර්වේද රෝහල් පරිශ්‍රය තුළ සිදුකෙරෙන සියලු කටයුතු ඇන හිට ඇත.වෛද්‍යවරුන් සේවයට වාර්තා කොට තිබුණද බාහිර රෝගී අංශය සහ ඖෂධ නිකුත් කිරීම සිදුවන්නේ නොමැත.නේවාසික රෝගීන්ගේ ද ප්‍රතිකාර කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබේ. 

සතියේ සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පමණක් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර නැවැත්වෙන අතර රජයේ නිවාඩු දිනෙක වුවද සතියේ අනෙක් සෑම දිනකම බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම මෙම රෝහල තුළින් සිදු කරනු ලබයි. මෙම තත්ත්වය හමුවේ සතියේ රාජකාරි දින හැර නිවාඩු දිනයන්හි ප්‍රතිකාර කිරීම් විසඳුමක් ලැබෙන තෙක් නැවතී තිබේ. තම ගැටළු වලට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් නිවාඩු දින රාජකාරියෙන් බැහැරවීම මින් ඉදිරියට සිදු කරන බව රෝහණ ජයතිලක මහතා අවධාරණය කර සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *