වන්නි රොමේෂ් මධූෂංක
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලින් චෝදනා දෙකකට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් අද (02) දින බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබූ අතර එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කළ මහාධිකරණ මිනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේනම් අමතර බරපතල වැඩ සහිත තවත් වසර දෙක බැගින්ද සිර දඬුවම් නියම කරනු ලැබූවා.
2012 වසරේ සැප්තැම්බර් මස 27 වන දා සහ 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දා දින අතර කාලසීමාව තුළ විත්තිකාර එස්. එම්. රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප හා ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අභිබවා නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 26කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීමත් සම්බන්ධයෙන් එස් එම් රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙහිදී වරදකරුවන් විසින් අවභාවිතා කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 16784ක් බවට ද නඩු නඩු විභාගයේදී අනාවරණය විය.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ චෝදනා හයක් ගොනුකර තිබූ බවටත් ඉන් චෝදනා දෙකකට විත්තිකරුවන් වරදකරුවන් වී ඇති බවයි.
