උඩරට කැරැල්ලට සහාය දී   ඉංග්‍රීසීන්ගේ උදහසට ලක්වූ ගලගොඩ පරපුර

හේවාහැට-චම්පික දසනායක 

වර්ෂ 1815  උඩරට ගිවිසුම ඔස්සේ උපක්‍රමශීලීව ඉංග්‍රීසින් මෙරට පාලන බලය තමන් සතු කරගන්නා විට උඩරට රාජධානියේ ඉහළ තනතුරු හෙබවූ නිළමේවරුන් පිළිබඳව අදටත් ජනතාව විවිධ විවේචන එල්ල කරති.

රජු හා රාජ්‍ය පාවාදී ඉංග්‍රීසින්ගේ සහායෙන් පාලන බලය තමන් සතු කර ගන්නට සමහර  උඩරට රදළ ප්‍රධානීන් කටයුතු කළ නිසා උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ බවට එම විවේචන එල්ල කරන බහුතර පිරිසගේ මතය වී තිබේ. 

නමුත් මෙරට ඉතිහාසය ශාස්ත්‍රීය කරුණු මත පදනම්ව ගවේෂණය කිරීමේදී උඩරට  ගිවිසුමට සිය අත්සන යෙදූ බොහෝ රදළ ප්‍රධානීන් අවසානයේ ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් වැදුණු බවට සාක්ෂි හමුවේ .

මාතෘ භූමිය බේරා ගැනීමට එලෙස සටන් වැද ඉංග්‍රීසින්ගේ උදහසට ලක්ව තමන් සතු සියළු දේපල හා වරප්‍රසාද අහිමි කරගත් පරපුරක් ලෙස කීර්තිමත් ගලගොඩ පරපුර හඳුන්වා දිය හැක .

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පාතහේවාහැට හේවාවිස්ස කෝරළේ ගලගොඩ ග්‍රාමය සිය ජන්ම භූමිය කරගනිමින් ප්‍රාදේශීය පාලන බලය හෙබවූ රජුට හා රාජ්‍යයට ඉතාමත්ම පක්ෂපාතීව සේවය කල  ගලගොඩ පරපුර පිළිබඳව රාජ්‍ය පාවාදුන් බවට පොදුවේ රදළ ප්‍රධානීන්ට එල්ල කරන විවේචනය වලංගු නොවන බව සඳහන් කළ යුතුමය .

වර්ෂ 1505 සිට 1815 දක්වාම කන්ද උඩරට රාජධානිය යුද්ධයෙන් තම යටතට ගන්නට විදේශීය හමුදාවන්ට නොහැකි වූයේ රජුගේ හමුදාවන්ට නායකත්වය සැපයූ රණශූර නිළමේවරුන් , එම සේනාවන්හි සටන්වැදුණු සෙබළුන්ගේ හා වැසියන්ගේ  එකමුතුකම නිසා බව මහනුවර රාජධානිය ගැන ලියවුණු නොයෙකුත් මූලාශ්‍ර වල සඳහන් වේ. 

යුරෝපීයන්ගේ දියුණු නවීන ආයුධ බලය හමුවේ වුවද උඩරට රාජධානියේ ස්වාධීනත්වය රැක ගැනීමට එම එකමුතුකම ප්‍රධාන පිටුවහලක්වූ බවට වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ ” සිංහලේ  “නම් කෘතියේ සඳහන්ව ඇත. 

දෙවන රාජසිංහ රජුගේ සිට මෙරට අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලය දක්වා රජවරුන් සත් දෙනෙකු රාජ්‍ය කළ අතර එම කාලසීමාවේදී ගලගොඩ පරපුරේ දිසාපතිවරුන් සත් දෙනෙකු රාජකාරි ඉටුකළ බවද පැවසේ .

පාතහේවාහැට ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු සංරක්ෂිත උරුමයන් වන ඓතිහාසික තලාව රජ මහා විහාරය හා හන්තාන රජමහා විහාරය රාජ ආඥාවකින්  ගලගොඩ අදිකාරම්ගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද බව ඉතිහාසයේ සඳහන් වන අතර ගලගොඩ පරපුරේ එම ශාසනික මෙහෙවර අගයා ගම්වරයක්ද ප්‍රධානය කර තිබේ. 

සෙනරත් රජු රාජ්‍ය පාලනය කරන අවධියේ ප්‍රතිකාල් සෙනෙවියෙකු වූ කුස්තන්තීනූ ද සාගේ නායකත්වයෙන් පැමිණි සේනාව ඌව ප්‍රදේශයේ රන්දෙණිවලදී පරාජය කිරීමට  ගලගොඩ පරපුරේ නායකයන් දෙපළක් දායකත්වය සපයා ඇති අතර මන්දාරම් පුර පුවත නම් කාව්‍යයේ එම වික්‍රමය මෙලෙස රචනා කර ඇත  

පෙර සිට මෙලක්දිව තුළ යසසින්        දිමුත 

රුපුමැඩ රණබිමෙහි ජයසිරිලත්       මහත 

ගලගොඩ මැතිඳුහට හේවාහැට       නියුත

තිරකොට ඇතකු හා ගම්වර දුන       මහත 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට නතු වීමත් රජු සිරගත කර කොළඹට පිටුවහල් කිරීමත්  පිළිබඳව අමනාපයෙන් සිටි එවකට නුවර කලාවිය දිසාව ලෙස සිටි ගලගොඩ දිසාපතිතුමා තවත් උඩරට ප්‍රධානියෙකු වූ තමන්කඩුව දිසාව ලෙස සේවය කල ගලගම දිසාවත් උඩරට ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් බෞද්ධාගම හා සිංහලයන්ගේ සිරිත් විරිත් නොකඩවා ආරක්ෂා කරන බවට ලබාදුන් පොරොන්දුවක් මත අවසානයේ සිය අත්සන ගිවිසුමට යෙදූ බවට සඳහන් වේ. 

කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමත් සමගම ගලගොඩ පරපුරට බොහෝ කෙනෙහිලිකම් සිදුවිය.  පාරම්පරිකව තමන් ප්‍රගුණ කරන ලද කඩු ශිල්පය හා අංගම්පොර සටන් කලාව ඉංග්‍රීසීන්ට ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරීමත්, වර්ෂ 1817-1818 කාල සීමාවේදී කන්ද උඩරට පැනනැගි බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේදී එම පරපුරේ බහුතරයක් අරගලයට දායක වීමත් නිසා කෝපයට පත් ඉංග්‍රීසි පාලකයන් විසින් අත්අඩංගුවට පත් ගලගොඩ පරපුරේ පිරිසක් ඝාතනය කර, තවත් පිරිසක් මුරුසියට පිටුවහල් කරන ලද බව ඉතිහාස කරුණු ගවේෂණය කිරීමේදී අනාවරණය වේ.  

සිංහලේ මහා නිදහස් අරගලය හෙවත් උඩරට කැරැල්ලේදී රටේ නිදහස හා  ස්වාධීනත්වය උදෙසා සිය ජීවිත පරදුවට තබා කටයුතු කළ එම නිදහස් අරගලය උදෙසා එකම පරපුරකින් වැඩිම සාමාජිකයන් පිරිසක් දායක වූ ගලගොඩ පරපුරේ ජන්ම භූමියේ පිහිටි පැරණි නිවස හා එම උරුමයන් අද වන විට මුළුමනින්ම විනාශයට පත්ව තිබේ .එම උරුමය ආරක්ෂා කිරීමට කිසිවෙකුගේ අවධානයක් යොමු නොවීමද කණගාටුවට කරුණක් බව මෙහිලා සඳහන් කළ යුතුමය .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *