ඉන්දු ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්

එල්. නදීෂා – කොළඹ 

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු හමුවෙති .

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025” ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)   11 දින ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවිය.

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මූලික වශයෙන්, දෙරටේ අන්‍යොන්‍ය මුහුදු සිමාවන් තුල නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩලීමේ ක්‍රියාමාර්ග, සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සහ දෙරටේ ආරක්‍ෂක හමුදා සඳහා විවිධ පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක්විය. 

මීට අමතරව,දෙරටේ ආරක්‍ෂක විෂය ක්ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරමින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

මෙම හමුව ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශවයේම නිලධාරීන් කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන තම කැපවීම යළිත් තහවුරු කළහ. නැගී එන ගෝලීය ආරක්‍ෂක අභියෝගවලට ඵලදායී අයුරින් මුහුණ දීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පුහුණු අභ්‍යාස පැවැත්වීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔවුහු අවධාරණය කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *