අසීරුම අවස්ථාවන්හිදීත් ජනතා සේවයට කැප වූ හෙද හෙදියන්ට අගමැතිනිය ස්තුතිය පළ කරයි

(චම්පිකා මුතුකුඩ, නිමල් කොළඹිස්ස,මහනුවර)

මැයි දොළොස්වැනිදාට යෙදුණු ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන්  සංවිධානය කරන ලද හෙද සැමරුම් උත්සවයක් අද ( 15) මහනුවර කරළිය ශාලාවේදී පැවැත්විණි.

සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හෙද පරපුර නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය දමයන්ති දසනායක මහත්මියත්, සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමරනන්ද ජයසේකර මහතාත් මෙම උත්සවයේ මුලසුන් හෙබවූහ.

මෙවර හෙද දිනයේ තේමාව වන්නේ Our nurses, Our future.Caring for nurses  strengthens economies ( අපේහෙදියන් අපේ අනාගතය.හෙදියන් රැකබලා ගැනීමෙන් ආර්ථිකය ශක්තිමත් වේ.) යන්නයි.

උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය, සිය පෞද්ගලික ජීවිතය අමතක කර අසීරුම අවස්ථාවන්හිදීත් සේවය වෙනුවෙන් කැපවන හෙද පරපුරට  සේවා ලාභියෙකු  ලෙසත්, පුරවැසියෙකු ලෙසත්, රටේ වගකිවයුතු තනතුරක් හොබවන්නියක ලෙසත් සිය ස්තූතිය පිරිනැමුවාය.

සමස්ත හෙද වෘත්තියෙන් සියයට අනූපහක පමණ පිරිසක් කාන්තාවන් වන බවත් ඔවුන්ට වැටුප් මෙන්ම රැකියාවේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලු රැසක් පසුගිය කාලය තුළදී මතුවී ඇතැයි ද  අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ප්‍රවාහන අපහසුතා, විවිධ ස්ථානවල සේවය කිරීමට සිදුවීම,  බලවත් අයගේ බලපෑම්වලට යටත් වීම වැනි වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

“සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන් සුරකිමු” යන සංකල්පය යටතේ පිහිටුවා කටයුතු කරන බවත්, නිවසේදී වුවද පවුලේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නේ හෙද හෙදියන් ද ඇතුලුව කාන්තා පාර්ශවය යැයි ප්‍රකාශ කල අග්‍රාමාත්‍යතුමිය සංස්කෘතිය විසින් කාන්තාවන්ට උරුම කර දී ඇති වගකීම් රැසක් ඇතැයිද පෙන්වා දුන්නාය. වෘත්තීය වගකීම් නිසා ඇතැම් විට පවුලේ වගකීම් සමාජය අපේක්ෂා කරන ආකාරයට ඉටු කිරීමට කන්තාවන්ට නොහැකි වන අවස්ථා ඇතැයිද අගමැතිතුමිය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  මෙම උත්සව සභාව අමතමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට  අවශ්‍ය තරම් හෙද වෘත්තිකයන් එම පළාත් වලින් බිහි නොවන නිසා දකුණ, මධ්‍යම වැනි ප්‍රදේශවලින් හෙදියන්  එම රෝහල්වලට අනුයුක්තව සේවය කරන බව පැවසීය. සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් ආරක්ෂිත හා පහසුකම් සහිත  නේවාසික පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවත්, නිරෝගිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ක්‍රියාවලියක් මෙම රජය යටතේ ක්‍රියාත්මක වන බව ද  අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ මහාචාර්ය දමයන්ති දසනායක, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවත්ත යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *