අස්ගිරි මහ විහාර පාර්ශවයේ වෙසක් සුභාශිංසන පණිවුඩය

 

(නිමල් කොළඹිස්ස – මහනුවර)

 

තමන් ජීවත්වන දේශය පමණක් නොව  සමස්ත ලෝකය දෙසම කල්පනාකාරීව බැලිය යුතු මෙම වකවානුවේදී විනාශකාරී යුද්ධයෙන් ලෝ වැසියන් මුදවා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කර ගැනීම වඩාත් කාලෝචිත යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පවසති.

ලෝ වැසි ජනතාව විනාශකාරී යුද්ධයන්ගෙන් මුදවා ගැනීම සඳහා බුදුන්ගේ ධර්මය උපයෝගී කර ගැනීමට අප මෙතෙක් ප්‍රමාද වී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.

අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් මේ බව සඳහන් කරන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දින නිමිත්තෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් සුභාශන එක් කරමිනි.

සිය සුබ පැතුම් පණිවුඩයේ උන්වහන්සේ තවදුරටත් මෙසේ සඳහන් කරයි.

සකල ලෝවාසීන්ගේ දෙලොවට යහපත සඳහා නිර්මල සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිදු වූ වෙසක් පුන් පොහෝ දින සෑම බෞද්ධයෙකුටම සුවිශේෂී දිනයක්.

වෙසක් පුන් පෝ දින ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව දාන, ශීල, භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් තොරණ විදුලි සැරසිලි පහන් කූඩු සහ වෙසක් සැරසිලි වැනි ආමිස පූජා ද සිදුකරන ලබන අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීමෙන් යහපත් බෞද්ධයන් ලෙස වෙසක් උත්සවය සැමරීම ඉතා වැදගත් වෙයි.

බුදුන් වහන්සේගේ දේශනාව පරිදි අපගේ ඉදිරි ජීවන රටාවන් ප්‍රඥා සහගතව සිතා බලා ඒ අනුව හැඩගස්වා ගැනීම මගින් මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම ඉතා සුබදායී වනු ඇත.

තමන් ජිවත් වෙන දේශය පමණක් නොව මුළු ලෝකය දෙසම කල්පනාකාරීව බැලිය යුතු මෙම වකවානුවේ විනාශකාරී යුද්ධයන්ගෙන් ලෝ වැසියන් මුදවා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කර ගැනීමට අප මෙතෙක් ප්‍රමාද වී ඇත. පාරිශුද්ධ මනසකින් යහපත් සහ අයහපත් ක්‍රියාවන් පිළිබඳව අපට අවබෝධ කොට දී ඇති බුදුන් වහන්සේ කුසල කර්ම හා අකුසල කර්ම අතර ඇති වෙනස ද මනාව පසක් කර දී ඇත.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් තුළින් මෙම වෙසක් දින අපගේ මනස පිරිසුදු කොට සැබෑ සාමය හා සංතෘෂ්ටිය සඳහා කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වනු ඇතැයි සිහිපත් කරන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි ද අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් සිය සුභාෂණ පණිවිඩයේ තවදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *