අවිස්සාවේල්ලේ රණවිරු සැමරුම

(නික්කි රණසිංහ)

16 වන යුධ ජයග්‍රහණ සැමරුම් උත්සව විවිධාකාරයෙන් රට පුරා සමරද්දී අවිස්සාවේල්ල නගරයේද ඊට සමගාමීව රණවිරු සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.

මෙම උත්සවය පවත්වනු ලැබුවේ පසුගිය කුරිරු යුධ සමයේදී රට වෙනුවෙන් අභීත මෙහෙවරක් කරමින් තම ජීවිතය පරිත්‍යාග කළ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතාගේ පිළිරුව අභියසදීය. 

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතා යනු යුධ හමුදාව මඟින් පිරිනමන දෙවන නිර්භීතම පදක්කම වන වීර වික්‍රම විභූෂණ පදක්කම දෙවරක්ම ලබා ගැනීමට හැකිවූ එකම නිලධාරියා බවට ඉතිහාසගත වූ අභීත රණවිරුවෙකි. 

විශාල ජනකායක් හමුවේ පැවැත්වුනු මේ උත්සවයේ දී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතාගේ දෙමව්පියන්, බිරිඳ සහ විශේෂ ආරාධිත අමුත්තෝ ද ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ගෞරවය දැක්වූහ.

මහා සංඝ රත්නය ඉදිරියේ දී අභීත රණවිරුවන් සදාතනිකව සමරන බවට ප්‍රතිඥා දීම ද මෙහිදී සිදු කෙරුණු අතර ලලිත් ජයසිංහ මහතා ඇතුලු රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන ලද සියලුම රණවිරුවන් සිහිපත් කරමින් ගෞරවාචාර දක්වනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *