අජිත්ලාල් ශාන්තඋදය
අවාර සමයේ සිරිපා වන්දනාවේ යන අය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව, සිරිපා මාර්ග අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යල, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව වැඩපිළිවෙලක් සකසන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා පැවසීය.
ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ මුලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය 10දා පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.
එළඹෙන වෙසක් පුර පසලොස්වක පොහෝය දිනයෙන් 2024/25 සිරිපා වන්දනා වාරය අවසන්වන බව ධම්මදින්න නාහිමයෝ මෙහිදී පැවසූහ. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුදින සිරිපා මලුවේ තැන්පත් කරඇති සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවීමට නියමිත බව ධම්මදින්න හිමියෝ පැවසූහ..
යම් කිසි රාජ්‍ය අනුමැතියකට යටත්ව, අධ්‍යාපන කටයුතු සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා කරුණා කිරිමට අවස්ථාව ලබාදීම සුදුසු බව ද ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ පැවසූහ.
සැම වසරකම වෙසක් පුර පස්ලොස්වක දින සිට එම වසරේ දෙසැම්බර් මාසයේ එළඹෙන උදුවප් පුර පසළොස්වක පොහොය දිනය දක්වා ම සිරිපා වන්දනාවේ අවාර සමයයි. නිරිතදිග මෝසමේ සක්‍රීයක්‍රීයතාව මත අධික වැසි, තද සුළං, අකුණු අනතුරු, පස් කදු කඩාවැටිම් ආදි ස්වභාවික අනතුරු සිදුවන්නේ මේ ආවාර සමයේය.
සිරිපා කරුණා කරන්නට ඇති ප්‍රධාන මාර්ග හරහා ඇති ඇළදොළ ගංගා ආදියේ ජල මට්ටමද වරින්වර ඉහළ යයි. අවාර සමයේදි පොදු පහසුකම් කිසිවක් සිරිපා මාර්ගවල ක්‍රියාත්මක නොවේ. එම නිසා අවාරයේ සිරිපා කරුණා කිරිම ඉතා අවදානම් බව ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ අවධාරණය කළහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අවාර සමයේ සිරිපා වන්දනාවේ යන මුවාවෙන් සිරිපා අඩවියට ඇතුලුවන ඇතැම් පිරිස් එහි තිබෙන ජෛව විවිධත්වයට බරපතල හානි සිදුකරන බවයි.
අවාරයේ සිරිපා කරුණා කිරිමේදී මිට පෙරත් අවසර ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් පැවසීය.

