අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල

 

මොහොමඩ් ආසික්

ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාවය වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. එම තත්වය තුළ කාලයක්  ගතවීමත් සමඟ  ජනගහණයේ සීග්‍ර වැඩි වීමත් ඉඩකඩම් සීමිත විමෙන් නිසා අලි ඇතුන්ගේ වාස භූමි මිනිස් වාසයට නතු වීම නිසා අලි මිනිස් ගැටුම ක්‍රමානුකූලව ඇති වූ බව පරිසර විද්‍යාඥයින්  පෙන්වා දෙති.

අලියා යනු මහා පරිමාණ ශාඛභක්ෂක සතෙකි. සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 150 ක  පමණ ආහාරත් ලීටර් 190 ක පමණ ජලයත් එක් අලියෙකුට අවශ්‍ය වෙයි. මෙතරම් ප්‍රමාණයක ආහාර සහ ජලය සොයා ගැනීම සඳහා අලින් සෑහෙන භූමි ප්‍රමාණයක ඇවිදිය යුතුය. එවන් තත්වයක් තුළ ඔවුන්ට හිමි භූමි ප්‍රමාණය සීමාවීම හේතුවෙන් අලි මිනිස් ගැටුම් ලොව පුරා ඇතිව තිබේ. ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙන්නේ ලෝකයේ අලි ඇතුන් දැකිය හැකි රටවල් 50 ක් පවතින බවත් එයින් රටවල් 13 ක් ආසියාවේත් රටවල් 37 ක් අප්‍රිකාවේත් පිහිටා ඇති බවත්ය. වසර කිහිපයකට පෙර ලබා ගත් දත්ත අනුව ලොව පුරා අලි ඇතුන්ගේ සංඛ්‍යාව 35,000 ත් 50,000 ත් අතර වන බවත් හීලෑ අලින්  16,000 ක් පමණ  සිටින බවත් එම දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළද පසුගිය වසර ගණනාවක් පුරා අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදු වන අලින්ගේ මරණ  මෙන්ම මිනිස් ජීවිත අහිමි වීම්ද විශාල ප්‍රමාණයක් වාර්තා වෙයි. මිනිසුන්ගේ ජීවිත අහිමි වීම් අලි මිනිස් ගැටුම ලෙස සඳහන් කිරීම  සුදුසු නොවන බව අපගේ අදහසයි. මිනිසුන් මැරෙන්නේ අලින් සමඟ ගැටුමක ට ගොස් නොව අලින්කඩා පැන පහර දීමෙනි.එයට හේතුව මිනිසාම විය හැකි නමුත් ඒ මේ මිය යන පුද්ගලයා නොවිය හැකිය.

2024 වසර තුළ අලි ඇතුන්ගේ පහරදීම්  හේතුවෙන්  මියගිය මිනිසුන් සහ ඝාතනය කිරීම් අනතුරු ආදිය නිසා මිය ගිය අලි ඇතුන් සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ  තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද විමසා බැලීමකි මේ.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් 2024 වසරේදී  වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංගණනයක් සිදු කළද එහි ප්‍රතිපල තවමත් නිකුත් කර නොමැත.  මේ වන විට ලබාගත හැකිව ඇත්තේ 2011 වසරේ සිදු කරන ලද සංගණනයේ  ප්‍රතිපලයයි. ඒ අනුව ලංකාවේ කලාප හයක අලි ඇතුන් 5,879 දෙනෙකු සිටි බව ලබා දී  ඇති තොරතුරුවල සඳහන් වෙයි. මෙම සතුන් අතර දළ  ඇතුන් 55 ක්ද ඇතුළත්ව තිබේ. ( මෙම දළ ඇතුන්ගෙන්අද  කී දෙනෙකු ජීවත් වන්නේද යන්න නව සංගණනයේ ප්‍රතිපල ලැබීමෙන් පසුව බැලිය යුතුය) ඒ අනුව මහවැලි කලාපයේ අලින් 1,751 දෙනෙකු සිටි අතර දළ ඇතුන් හයක් ඇතුළත් විය. වයඹ පළාතේ අලි ඇතුන් 1,189 ක් වාර්තා වි තිබූ අතර දළ ඇතුන් 22 ක් ඒඅතර විය .දකුණු පළාතේ අලින් 1,086 ක් වාර්තා ව තිබූ  අතර අලි ඇතුන් 13 ක් ඒ අතර විය. නැගෙනහිර පළාතෙන් අලි ඇතුන් 1,573 ක් වාර්තා වී තිබිණ .දළ ඇතුන් නව දෙනෙකුද ඒ අතර විය.

උතුරු පළාතෙන් අලි ඇතුන් 233 ක් වාර්තා වී තිබූ අතර දළ ඇතුන් හතර දෙනෙකුද ඒ අතර විය. මධ්‍යම පළාතෙන් අලි ඇතුන් 47 දෙනෙකු වාර්තා වි තිබූ අතර එක් දළ ඇතෙකුද වාර්තා වී තිබිණ.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව  වෙතින් කරන ලද තොරතුරු ඉල්ලීමකට ,තොරතුරු නිලධාරි රක්ෂිත ප්‍රදේශ කළමණාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසර තුළ අලි ඇතුන් 388 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම අලි ඇතුන් 388 දෙනා මිය යාමට හේතුන් වශයෙන් සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම්, විදුලි සැර වැදීම, හක්කපටස්, වස දීම, දුම්රියේ ගැටිම,මහාමාර්ගයේ ගමන් කිරීමේදී  සිදු වන අනතුරු, දියේ ගිලිම, වගා ළිං සහ වැසිකිලි වලවල් ආදියට වැටීම, හදිසි අනතුරු ස්වභාවික මරණ . පරපෝෂිත පණු ආසාදන,ක්ෂුද්‍ර ජීවින් රුධිරගතවීම ආදිය සඳහන් කර තිබේ.

2024 වසරේ එසේ අලි ඇතුන් 388 දෙනෙකු විවිධ  හේතුන් මත මරණයට පත් වන විට  , අලි  ඇතුන් පහර දීම හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මිය ගොස් ඇති බවත් වන ජීවි සංරක්ෂණදෙපාර්තමේන්තුව විසින් ලබා දී  ඇති තොරතුරුවල සඳහන් වෙයි.

ඒ අනුව පොලොන්නරුව වන ජිවි කලාපය තුළ පුද්ගලයින් 26 දෙනෙකු  අලි පහරදීමෙන් මිය ගොස් ඇති අතර  අනුරාධපුර වන ජීවි කලාපය තුළ පුද්ගලයින් 31 ක් මිය ගොස් තිබේ. ත්‍රිකුණාමලය වන ජීවි කලාපය තුළ  අලින්ගේ පහරදීමට ලක්ව පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කිලිනොච්චිය වන ජීවි කලාපය තුළ එක් පුද්ගලයෙකු අලි යෙකුගේ ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබේ. ඌව වන ජීවි කලාපය තුළ අලි පහර දීම හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර  දකුණු  වන ජීවි කලාපයේ අලින්ගේ  ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයන් 14 දෙනෙක් 2024  වසරේදී  ජීවිතක්ෂයට පත්ව සිටිති. වව්නියාව වන ජීවි කලාපයේ අලින්ගේ ප්‍රහාරයට  ලක්ව  ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්  ගණන නවයකි.  නැගෙනහිර වන ජීවි කලාපය තුළදී එසේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 31  දෙනෙකි.   මධ්‍යම වන ජිවි කලාපයට අයත් ප්‍රදේශයේ අලින්ගේ ප්‍රහාරයට ලක්ව  පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.  වයඹ වන ජීවි කලාපය තුළ සිදුවූ අලින්ගේ  පහරදීම්  හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු 2024 වසරේදී මිය ගොස් ඇති අතර පුත්තලම වන ජීවි කලාපය තුල සිදු වූ අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවත් ලබා දී   ඇති තොරතුරුවල සඳහන් වෙයි.  ඒ අනුව 2024 වසරේදී අලි ඇතුන්ගේ පහර දීමට ලක්ව පුද්ගලයින් 155 දෙනෙකු මිය ගොස් ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.

පසුගිය වසර කිහිපයකදුම්රියේ   ගැටීම නිසා සිදු වන අලින්ගේ මරණ ගණන වඩාත් වැඩි වශයෙන් වාර්තා වී තිබිණ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන අලි ඇතුන්ගේ මරණ මෙන්ම අලි ඇතුන් පහර දීම හේතුවෙන් සිදු වන මිනිසුන්ගේ මරණත් සලකා බැලීමේදී මෙම අලි ඇතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිතත් ආරක්ෂා කර ගැනීමටත් සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැඩි ලෙස පවතී.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *