මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය හැඩ කරන අතිශය සුන්දර කඳු ශිඛරවලින් ගහනව අලංකෘතව ඇති, ස්වභාව සෞන්දර්යයේ මාහැඟි දායාදයක් වන කන්ද උඩරටට ආභරණයක් වන් කඳු කැට පෙළක් ලෙස අලගල්ල කන්ද සඳහන් වෙයි.
1948 පෙබරවාරි මස හතර වනදා අපේ රටට නිදහස ලැබීමේ නිදහස් දිනයට සමගාමීව කතාබහට ලක් වන අලගල්ල කන්ද ගැන බොහෝ දෙනකු කතා කරන්නේ මෙම කන්ද සහ නිදහස් දිනය සමඟ පවතින සම්බන්ධතාවයක් නිසාවෙනි.දැඩි අවදානම් සහිත මෙම අලගල්ල කඳු ශිඛරය පිළිබඳව කළ සොයා බැලීමකි මේ.
මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික් දෙකට අයත්ව හතරලියද්ද යටිනුවර මාවනැල්ල සහ රඹුක්කන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට මායිම්ව පිහිටා ඇති මෙම අලගල්ල කන්ද කඳු තරණය කරන බොහෝ දෙනෙකුගේ තෝතැන්නකි. ඉතා දුෂ්කර මඟක් ගෙවා කඳු මුදුනට යාමට ඇති නිසා කඳු තරණයේදී අත් විදිය හැකි බොහෝ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමටද ඉතා යෝග්‍ය කඳු පන්තියක් ලෙස මෙම අලගල්ල කඳු පන්තිය සඳහන් වෙයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 1100 ක් හෙවත් අඩි 3586 ක උසකින් යුත් කඳු මුදුනේ සිංහ ගල ලෙස හැඳින්වෙන ගල් පර්වතයකින්ද සමන්විතව තිබේ.මෙම ගල් පර්වතය මුදුනට නැගීමට ඇත්තේ සිංහ කට නමින් හඳුන්වන ස්ථානයෙන් වන අතර එයද දැඩි අවදානම් ගමනක් වෙයි .
අලගල්ල කන්ද තරණය කරන්නන්ට ඒ සඳහා යාමට ඇති ප්‍රධාන මාර්ග දෙකක් වෙයි. උඩරට දුම්රියෙන් පැමිණ රඹුක්කන පසුවීමෙන් පසුව හමු වන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස මඳ දුරක් ගමන් කර කන්ද තරණය ආරම්භ කළ හැකිය. එයට අමතරව මහනුවර පොත්තපිටියට පැමිණ හමු වන අලගල්ල තේ කම්හල අසලින් අතුරු මාර්ගයේ ගොස්ද කන්ද තරණය කළ හැකියි. කෙසේ නමුත් බොහෝ දෙනෙකු පහසුවට කන්ද තරණය කිරිමට තෝරා ගන්නේ මහනුවරින් යන මෙම මාර්ගයයි .
අලගල්ල කන්ද ගැන කතා කිරීමේදී ජනප්‍රවාදයේ පවතින එක් කතා පුවතක් කියවෙයි. එය බොහෝ දෙනෙකු ගේ මතකයේ පවතින්නේ සුවිශේෂ සිදු වීමක් ලෙසයි .එනම් නිදහස් දා නගින කන්ද ලෙසයි. මෙම ජනප්‍රවාදය ගැන සොයා බැලීමේදී අපූරු කතාවක් අපට දැන ගන්නට ලැබිණ.
වසර 133 කට ආසන්න කාලයක් මෙරට පාලනය කළ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 පෙබරවාරි මස හතරවනදා නිදහස ලැබෙන බවට වූ ආරංචිය රට පුරා පැතිර ගියද නිදහස යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න එකල බොහෝ දෙනෙකුට නිවැරැදි තේරුමක් නොවිය. එසේ වුවත් නිදහස කොළඹදී ලබා දෙන බවත් අලගල්ල කඳු මුදුනට කොළඹ පෙනෙන බවත් මෙම ප්‍ර දේශයේ බොහෝ දෙනෙකු දැන සිටියහ. ඒ නිසාම නිදහස බලා ගැනීම සඳහා අලගල්ල කඳු මුදුනට නැගිය යුතු බව පිරිසක් යෝජනා කළහ. සිය ගණනක පිරිසක් එදා 1948 පෙබරවාරි මස හතරවනදා පාන්දරම අලගල්ල කන්ද තරණය කළේ නිදහස දැක බලා ගැනීමටයි.
කන්ද මුදුනේ සිට කොළඹ දෙස දෑස් යොමු කර කන්ද මුදුනේ එදා සවස් වන තුරුම රැඳී සිටියත් කිසිවක් නොදුටු ඔවුහූ රෑ බෝ වෙද්දි පල්ලම් බසින්නට වුහ. නිදහස දැක බලා ගන්නට කන්ද තරණය කල පිරිස් නැවත සවස් කාලයේ පල්ලම් බසිනු දුටු කඳු පාමුල සිටි පිරිස් ඔවුන්ගෙන් ඇසුවේ නිදහස දුටුවාද යන්නයි. “ දුටුවදත් අහනවා මේවගේ නිදහසක් අපේ උපන්තේකටම දැක්කේ නැනේ” යැයි මහ උජාරුවට ඔවුහූ කීහ. එදා පටන් සෑම වසරකම සිරිතක් වශයෙන් පෙබරවාරි හතරවනදා දහස් ගණනක පිරිසක් අලගල්ල කන්ද තරණය කරන බවද පොත පතේ සඳහන් වෙයි.
නිදහස බලන්න කන්ද තරණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව දශක කිහිපයක් පුරාවට මහනුවර කෑගල්ල පිරිස් පමණක් නොව දිවයිනේ නොයෙක් දෙස සිට පැමිණෙන විශාල පිරිසක් මෙම කන්ද තරණය කරන්නේ පාරම්පරික චාරිත්‍රයක් ඉටු කරන්නාක් මෙනි.
අලගල්ල කන්ද කඳු ශිඛර හතරකින් සමන්විත වෙයි. එහි ප්‍රධාන කඳු ශිඛරය වන්නේ අලගල්ල කන්දයි. තවත් කඳු ගැටයක් පුජාගල කියා හඳුන්වයි. තවත් කඳු මුදුනක් කටුසු කන්ද ලෙසත් සඳහන් වෙයි. වර්තමානය වන විට කන්දේ මඳ දුරක් යන තුරුම තේ රබර් වැනි වගාවන් සිදු කර ඇති අයුරු දක්නට ලැබෙයි. කඳු පාමුල ජනතාවද වාසය කරති.. එසේ වුවත් කඳු මුදුනේ කොටස තරණය කිරීම දැඩ දුෂ්කර ගමනකින් පසුව කළ යුතුව තිබේ.
මෙම කඳු මුදුනට නැඟ ගත් විට අවට ප්‍රදේශ ඉතා දර්ශනීයව දිස් වෙයි. සබරගමුව පළාත වයඹ පළාත බස්නාහිර පළාත මෙන්ම මධ්‍යම පළාතද මෙම කඳු මුදුනට දිස් වන අතර මීදුම නැති දිනයක නම් එම දර්ශණ පැහැදිලිව දැකිය හැකි අතර කොළඹ නගරයේ උස් ගොඩනැගිලිද දිස් වන බව කිහිප දෙනෙකුම අප සමඟ කීහ.
එලෙස බලන විට 1948 දී මෙම ප්‍රදේශවල විසූ ගැමි ජනතාව නිදහස ලබා දීම බලන්න අලගල්ල කන්ද තරණය කිරීම ගැන පුදුම විය යුතු නැති බවත් සිතිය හැකියි.
අලගල්ල කන්ද තරණය කළ පිරිස් කර ඇති බොහෝ සටහන්වල සඳහන් වන්නේ අලගල්ල යන්න කඳු තරණය කරන සියලු දෙනා තරණය කළ යුතුම කන්දක් බවයි. මෙම කන්ද තරණය කිරීම අපහසු බවට මතයක් තිබුණත් එය නිවැරදි නොවන බවත් ඕනෑම කෙනෙකුට නගින්න පුළුවන් සාමාන්‍ය කන්දක් බවත් ඔවුහූ සඳහන් කරති. එසේ වුවද මෙම කන්ද තරණය කරන්නන් එය සැහැල්ලුවකට ගත යුතු නැත.
අලගල්ල මෙන්ම ආශ්‍රීත කඳු ගැන ඈත අතීතයේ පටන් එන ජන කවියක් බොහෝ පොත්පත්වල සඳහන් වෙයි.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හූනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
ජන ප්‍රවාදයේ එන මෙම කවි පන්තියේ කඳු ශිඛර හතරක් ගැන කියවෙයි. අලගල්ල කන්දට අමතරව, බතලේගල කන්ද, හුන්නස්ගිරි කන්ද, සහ සමනල කන්ද ඒ කඳු හතරයි. අතීත ජන කවියා මෙම කවිය ආවට ගියාට කියා නැති බව වර්තමානයේදී පසක්ව තිබේ. අලගල්ල කඳු මුදුනට නැඟ ගත් විට මීදුමෙන් තොර දිනයකදී නම් මෙම ජන කවියෙන් කියවෙන අනෙක් කඳු පද්ධති තුනද එහි මුදුනේ සිට දැක ගත හැකි බව බොහෝ දෙනෙක් කියති.
අලගල්ල කන්ද වඩාත් ප්‍රචලිතව ඇත්තේ නිදහස සැමරීම සඳහා තරණය කරනු ලබන කන්දක් බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහචාර්යවරයෙකු ප්‍රකාශයක් කරමින් වසර කිහිපයකට පෙර කියා තිබුණේ, මෙම කන්ද තරණය කරන ජනතාව නිදහස සැමරීමක් නොව නිදහස භුක්ති විඳීමක් කරන බවයි. ඒ සඳහා ජාති ආගම් බේදවලින් තොරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ සියලු දෙනා එක්ව මෙලෙස නිදහස භුක්ති විඳින බවයි.
ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ කන්ද උඩරටට තවත් දායාදයක් වන මෙම අලගල්ල කඳු පන්තිය අතිශය සුන්දර පරිසරයක්. මේ වනවිට රක්ෂිතයක් බවට පත් කර ඇති මෙම ප්‍රදේශය තුළ කඳු තරණය කිරීම සඳහා බොහෝ පිරිසක් නිති පතා පැමිණියත් බොහෝ පිරිසක් එන්නේ නිදහස් දවසේ බවද ප්‍රදේශයේ ජනතාව කියති. එසේ වුවත් කොවිඩ්වලින් පසුව එසේ පැමිණෙන පිරිසේ යම් අඩුවක් ඇතිව ඇති බවත් ඔවුහූ කිහ.
මෙම කතාව අවසන් කරන්නට පෙර යමක් සිහිපත් කළ යුතුමය.අලගල්ල කන්ද තරණය කිරීම ආරම්භ කරන ස්ථානයේ එක් දැන්වීම් පුවරුවක් සවි කර ඇත. කුඩා දරුවන්ගේ ආයාචනයක් ලෙස සටහන් කර ඇති එම දැන්වීමේ මෙසේ සඳහන් වෙයි.
“ අනේ මාමේ නැන්දේ අයියේ මල්ලියේ අපි බොන්නේ , නාන්නේ , වගා කරන්නේ අලගල්ල කන්ද අපට දෙන වතුරෙන්. කන්දට ගිනි නොතියා, කන්දේ ලස්සන බලලා,පා සටහන් විතරක් කන්දේ ඉතිරි කරන්න ඔය ගොල්ලන්ට ගොඩක් පිං” ඉතින් ඒ පින ලබා ගන්න කන්ද තරණය කරන සියලු දෙනා සිහි තබා ගනිමු.
