අයවැයෙන් රජයේ සේවක වැටුප් ප්‍රමාණවත්ව වැඩි නොවුනොත් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග – වෘත්තීය සමිති කියයි

 මොහොමඩ් ආසික්

අහස උසට නැඟ ඇති ජිවන වියදම හමුවේ මෙවර අයවැයෙන් රජයේ සේවක වැටුප් අවම වශයෙන් රුපියල් 20,000 කින්වත් වැඩි නොකරන්නේ නම් තාවකාලිකව අත් හිටුවා ඇති වෘත්තිය සමිති ක්‍රියාමර්ගයට නැවත අවතීර්ණවීමට සිදු වන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ  වෘත්තිය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින්  කියා සිටියි‍.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතාගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් කර තිබේ.

වැඩි වී ඇති ජිවන වියදම හමුවේ ජීවත් වීම දැඩි අසීරු තත්වයට පත්ව ඇති වත්මන් කාලසීමාවේදී, ජීවත් වීම සඳහා සරිලන වැටුප් වැඩි විමක් සඳහා වන අරගලයන් පසුගිය කාලය පුරා ගෙන ගියද වත්මන් රජය යටතේ ඒ සඳහා  සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය මත  එම වෘත්තිය අරගලයන් තාවකාලිව  අත් හිටවූ බව සිහිපත් කරමු.

වත්මන් රජය බලය ලබා ගැනීමට පෙර රාජ්‍ය සේයවකයින් සඳහා මාස හයෙන් හයට ජීවන වියදම් දීමනාවක් සහ රුපියල් 20,000 ක වැටුප් වැඩි විමක් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු  ඉටු කරනු  ඇතැයි අපේක්ෂා කරන බවත් එම ලිපියේ සඳහන් වෙයි.

වෙළද පොළේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමද ප්‍රායෝගික නොවන  බවද පෙන්වා දෙන අතර 17 වන දින ඉදිරිපත් කරන අයවැය මගින් අපේක්ෂිත වැටුප් වැඩිවීමක් සිදු නොවන්නේ නම් තාවකාලිකව විරාමයක් තබා ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා යළි අවතීර්ණ වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *