අභියෝග මැඩ ශිෂ්‍යත්ව විභාගයෙන් උතුරු මැද මුල් තැනට ආ කහපත්විලගම විදුහල

අනුරාධපුර කිත්සිරි වනසිංහ 

පසුගියදා නිකුත් කරන ලද ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණය අනුව උතුරු මැද පළාතේ පළමු තැන ගලෙන්බිඳුනුවැව  අධ්‍යාපන කලාපයට අයත් අ/කහපතවිලගම විදුහලට හිමිව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති පාසල් අතුරින් කහපත්විලගම විදුහල අති දුෂ්කර පාසලකි. ලංකාවේ පාසල් අතර සම්පත් බෙදී යාමේ දී අති දුෂ්කර පාසල් වලට හිමිවන ස්ථානයන්ට අභියෝග කරමින් ඉගෙනුම් ඉලක්ක සපුරා ගැනීමට මෙම පාසල සමත්ව තිබීම පැසසුමට ලක්වන කරුණකි.

ප්‍රාථමික හා ද්විතීය පාසල් එකතුව අනුව උතුරු මැද පළාතේ ඇති පාසල් ගණන 816 කි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉකුත් 07 වැනි දින නිකුත් කරන ලද ප්‍රතිඵල විශ්ලේෂණය අනුව එම පාසලෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමුන් සංඛ්‍යාව 07ක් වන අතර ඉන් සිව් දෙනෙකු කඩයිම් ලකුණු සීමාව වන 137 ක ලකුණු සීමාව සමත්ව ඇත. අනෙක් ළමුන් තිදෙනාද 70% ළකුණු ප්‍රතිශතය ඉක්මවා තිබේ. ඒ අනුව පළාතේ පාසල් අතුරින් ශිෂ්‍යත්ව විභාගයෙන් 57% ප්‍රතිශතයක් ලබා ගනිමින් කහපත්විලගම විදුහල පළමු තැන හිමි කරගෙන ඇත.

පළමු වසරේ සිට අ.පො.ස. දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 122 කි. ගොවිතැන මූලික ජීවනෝපාය කරගත් දෙමාපියන් පිරිසකගේ දරුවන් මෙහි අධ්‍යාපනය ලැබීම ද විශේෂත්වයකි.  දවසේ පැය 24 පුරාම වන අලින්ගේ තර්ජනයන්ට ලක්වන මෙන්ම ප්‍රවාහන හා පොදු පහසුකම් අනුව අති දුෂ්කර ප්‍රදේශයක කහපත්විලගම විදුහල පිහිටා තිබීමද විශේෂත්වයකි.

ගලෙන්බිඳුනුවැව  අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ඉමාලි රන්දිකා නාකන්දල මහත්මිය කටයුතු කරයි.. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන්නේ ගයත්‍රී රාමනායක මහත්මියයි.අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් 18 සිටිය යුතු කලාප අධ්‍යාපන කාර්යාලයේ සියලු අංශ ආවරණය කරමින් මෙම නිලධාරීන් දෙදෙනා ගලෙන්බිඳුනුවැව  අධ්‍යාපන කලාපය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලයෙන් උතුරු මැද පළාතේ පළමුවැනි ස්ථානයට ගෙන ඒම ද මෙම ජයග්‍රහණයේ තවත් එක් සුවිශේෂත්වයකි.

තම පාසලේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ විදුහල්පති ඩී.එම්.සී.ජේ.දිසානායක මහතා මෙසේ පැවසීය. පාසලේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් පරිබාහිරව මේ කිසිදු දරුවෙක් උපකාරක පන්තියකට සහභාගි වුණේ නෑ. මෙම ජයග්‍රහණය පිටුපස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය , සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමිය (පාලන) විශේෂයෙන් ඉගෙනුම් ක්‍රියාවලියට දායක වුණ ගුරු මණ්ඩලය සිටින බව සිහිපත් කළ යුතුයි. භෞතික මෙන්ම තාක්ෂණික පහසුකම් අප පාසල් සතුව තිබේද යන්න විවාදයට තුඩු දෙන කරුණක්. පොදු පහසුකම් මෙන්ම ගුරු ඌනතාවයන් මත රැඳෙමින් අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට සිදුව තිබෙන බවද සිහිපත් කළ යුතුයි. පැවති හා පවතින දුෂ්කරතාවයන් මඟ හරවා ගනිමින් පළාතේ මුල් තැනට පාසල පත්කර ගැනීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන අතරම මෙහිදී පාසල් ප්‍රජාව ගෙන් ලද සහයද  ප්‍රශංසනාත්මකව සිහිපත් කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *