අප්‍රේල් අග වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1700ක්

අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර මහ නගර සභා සිමාවේ ඩෙංගු මදුරු කීටයින් රැදි සිටි ස්ථාන 28ක හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඩෙංගු මදුරුවන් සිටි තවත් ස්ථාන 135 ක හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 01දා කීවේය.

මේ වනවිට රත්නපුර මහ නගර සභා සීමාවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති අතර ඩෙංගු රෝගීන් පන්සිය පහළොවක් හමුවී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේය. රත්නපුර ශීක්ෂණ  රෝහලේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුලු සෙසු කාර්ය මණ්ඩලයේ 199 දෙනකුට ඩෙංගු රෝගය වැළදී ඇති බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. එය සතියක කාලයක් තුළ තිස් තුනක වැඩිවිමකි.

රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාරගත් රෝගින් කිහිප දෙනෙකුට සහ රෝගීන් ළග සාත්තුවට සිටි කිහිප දෙනෙකුට ද ඩෙංගු රෝගය වැළදි ඇති අතර ඔවුන් රත්නපුර නාගරික බල ප්‍රදේශයෙන් පිට අය බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කීවේය. අප්‍රේල් 30දා වනවිට රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගීන් 1700ක් පමණ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තොරතුරු වලින් අනාවරණය වී ඇති බවද කීවේය

රත්නපුර මහ නගරසභා සීමාවේ පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන, මං මාවත් සෞඛ්‍ය අංශ මගින් නිරන්තර පරීක්ෂාවට ලක්කරන බව ද කී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තෝරාගත් ස්ථාන ධූමායනයට  ලක්කරන බව ද කීවේය. පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ උපදෙස් අනුව ඩෙංගු මර්ධන කටයුතු සදහා ශ්‍රී ලංකා යුද හමුදාවද පත්කර ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන්  කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *