අනුරාධපුර කිත්සිරි වනසිංහ
අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති සියලු වෙළඳ සල් ඊයේ(13 ) වැනිදා සිට මින් ඉදිරියට පස්වරු 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වසා දැමීමට අනුරාධපුර මහා නගර සභාව තීරණය කර තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊයේ (13) උදෑසන 7.00 පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී රැස්වී ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ,අනුරාධපුර නාගරික කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් තෙන්නකෝන් , එහි ලේකම් වෛද්‍ය එස්. විතානගේ , අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
කාර්ය මණ්ඩල සහ රෝගීන්ගේ ආරක්ෂාව මුල් කරගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපස වූ සියලු වෙළදසල් සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුර නාගරික කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට අදාළව උද්ගතව ඇති ආරක්ෂිත වැඩ පිළිවෙල වෙනුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
මේ අතර රෝහල ඉදිරිපස වූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමත් රෝහල් කටයුතු සඳහා පහසු හා ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර දීමත් සඳහා ඉදිරියේදී සැලසුම් රැසක් දියත් කිරීමට නගර සභාවට සිදුවන බවද හෙතෙම පැවසීය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ඉදිරිපත් වන යෝජනා ද සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කෙරෙන බවත් අනුරාධපුර නගරය තුළ ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම එහි අරමුණු බවත් නාගරික කොමසාරිස්වරයා පැවසීය.
