කිත්සිරි වනසිංහ අනුරාධපුර

තරුණ වෛද්‍යවරියක ලිංගික හිංසනයකට ලක් වීමත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ආරක්ෂාව මේ වන විට තර වී තිබේ.
එම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල ස්ථාපිත ප්‍රදේශය උඩු යටිකුරු වෙමින් පවතී.
මෙම සිදුවීමට මුහුණ පෑ තරුණ වෛද්‍යවරිය තම ජීවිතය තුළ අත්විඳින්නට සිදුවූ අමිහිරිතම මිනිත්තු කිහිපය ගෙවා අවසන්ය.රෝහලේ ඇඳක් මත වැතිරී සිටින රෝගියෙකුගේ ජීවිත වලට ජීවයක් වුණු ඇයගෙන් රටක් සමාව ගත යුතුය. ජනතා බදු මුදලින් යැපෙන කරවට පටලා ගත් ටයි කබා හඳින බොහොමයක් දෙනා තම වගකීම් පැහැර හැරීම මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව බව දැන්වත් සිහියට ගත යුතුව ඇත.
යමක් සිදුවන තෙක්ම බලා සිට ඊට විසඳුම් සොයන නිලධාරී පැලැන්තියක් මෙන්ම තම පුද්ගලික සුඛවිහරණය උදෙසා තහංචි පනවන හා ඒ වෙනුවෙන් පිඹුරුපත් අඳින තවත් පිරිසක් නිසා මෙම විනාශයන්ට පාර කැපී ඇති බව බොර නැගෙන සමාජගත කතිකාවන්ගෙන් කියැවේ.
ඇගේ අයිතිය ඇගේ අයිතියයි කියා අත පිසගන්නට කිසිවෙකුට අයිතියක් හා අවස්ථාවක් නැත.
සිදුවීමෙන් පසුව රටේ සමස්ත රෝහල් පද්ධතියම ලෙඩ විය. වෛද්‍යවරුන් හා අතුරු වෛද්‍ය සේවාවන්ද ලෙඩ වෙද්දි එලොව තරු දකිමින් සිටින රෝගීන් හට තරු නොව හඳ පායන බව නොරහසකි.
මේ අතර තවත් පිරිසක් තරු එළියෙන් සඳේ ලප සොයන්නට යාම තුළ මෙවැනි අවාසනාවන්ත සංසිද්ධීන් ඇති වන බවට අද වන විට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.
අසරණ රෝගීන් පලිහක් කර ගනිමින් හා සිදුවීමට මුහුණ දුන් තරුණ වෛද්‍යවරියගේ අනාගතය හා මානසික පීඩාවන් ද පසෙකලා ලොවක් දනවා ඇතැම් කණ්ඩායම් ක්‍රියා කළ ආකාරය ප්‍රබුද්ධ සමාජයක නොවිය යුත්තක් බවද සමාජ විපරමේදී පෙනී යන කරුණකි.
රෝගීන් වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල හා දහස් ගණනක් මිනිසුන් ගැවසෙන මෙවන් ආයතන පද්ධතියක් රාත්‍රී කාලයේ අඳුරේ පැවතීම ගැටලු සහගතය.
අඳුරු තැන් ආලෝකමත් කිරීමත් වෛද්‍යවරුන් නවාතැන් ගන්නා ස්ථාන නිසි ආරක්ෂක වැඩ පිළිවෙලකට නතු නොවීමත් ප්‍රශ්න ගත කරුණකි.
මෙම සිදුවීමෙන් පසුව සමාජයේ දැඩි කතා බහට ලක්ව ඇත්තේ ඇතැම් වෛද්‍යවරුන් තම ඕනෑ එපා කම් මත විදුලි ආලෝකය සැපයීමත් , ආරක්ෂක අංශ රැකවරණයත් හා cctv කැමරා පද්ධතින් සවිකිරීමත් යන කාරණා සඳහා සීමාවන් පනවා ඇති බවකි. එහි සත්‍යතාවයක් නොදන්නා හෙයින් ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතාගෙන් විමසීමක් කළ අතර හෙතෙම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.සමාජ කතිකාවන් බොරු බවත් පැතිර යන කටකතා වගකීම් විරහිත ඒවා බවත් අඳුරේ සිටීමට අකමැති සේම ආරක්ෂක වටපිටාවක් තිබීම ප්‍රතික්ෂේප කර නැති බවත් අජන්ත රාජකරුණා මහතා අප කළ විමසුමේදී පැවසීය.
මේ වන විට අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කොට ඇත. සිදුවීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පැමිණ වහා කටයුතු සොයා බලා අවශ්‍ය පිළියම් යෙදීමට උත්සුක විය.
මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් , ආණ්ඩුකාර ලේකම් , අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී , අනුරාධපුර නාගරික කොමසාරිස් හා තවත් නිලධාරීන් රැසක් එක්ව ආරක්ෂිත අනාගත සැලසුම් රැසක් පිළිබඳව සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූහ.
අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ සහ එහි රාජකාරියේ නිරත වූවන්ගේ මෙන්ම ඉන් සේවාවන් ලබාගන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසකට එළබිණි.
මෙහිදී වෛද්‍ය සංගමයේ ඉල්ලීම වූයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් සීමාව දැඩි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට පියවර ගත යුතු බවකි. ඒ අනුව අනුරාධපුර කඩ පනහ වටරවුමේ සිට අනුරාධපුර උසාවිය වටරවම දක්වා වූ ප්‍රධාන මාර්ග ප්‍රදේශය නිදහස් ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යෑම උචිත බවට යෝජනා ඉදිරිපත් විය.
මාර්ගය දෙපස ඇති අනවසර වෙළඳ කුටි ඉවත් කිරීම, පාපැදි ,යතුරු පැදි මෙන්ම වාහන හා ත්‍රී රෝද රථ ගාල් සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර ඉදිරි කාල සීමාව තුළ ඒ සඳහා අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගැනීමට තීරණය වී ඇත.
මාර්ගය දෙපස ඇති අනවසර වෙළද කුටි ආශ්‍රිතව මෙන්ම රෝහල ඉදිරිපිට ඇති ආපනශාලාවල විශේෂයෙන් සවස් කාලයේ මත් ලෝලීන් ගැවසීම මෙන්ම නොයෙක් අපරාධකරුවන්ට සැඟව සිටීමට එම ස්ථාන රුකුලක් වන හෙයින් ඒවා ඉවත් කිරීම කළ යුතු බවට සාකච්ඡාවන්ට බඳුන් වී තිබේ.
කෙසේ වෙතත් එම කටයුත්ත එකවර සිදු කිරීම අපහසු බවත් ඊට විකල්ප විසඳුම් සොයා පිළියම් යෙදීමට කාලයක් ගතවන බවත් අනුරාධපුර නාගරික කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත මහතා සඳහන් කරයි. පළමු අදියර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට රාත්‍රි කාලයේ විවෘතව තැබූ ආපනශාලා පසුගිය 13 වැනිදා සිට මින් ඉදිරියට පස්වරු 6.00 සිට පසු දින උදෑසන 6.00 වසා තැබීමට පියවර ගෙන ඇත. ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත සැමගේ යහපත වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
හඳුනාගෙන ඇති පරිදි මෙම සීමාව තුළ අනවසර වෙළඳ කුටි 86 පවතී. ඉන් දිවි ගැට ගසා ගන්නා පිරිස අති විශාලය. උද්ගතව ඇති මෙම ගැටලුව පිළිබඳව ඔවුහු මෙසේ අදහස් දැක්වූහ.
රේණුකා ප්‍රියදර්ශනී මහත්මිය සහ ප්‍රදීප් කුමාර මහතා යන දෙපළ තමන් මුහුණ පැවැති ගැටලුව පිළිබඳව මෙසේ කරුණු දැක්වීය.
වසර 30 වැඩි කාලයක් අපි මේ රැකියාවේ නිරතව සිටිනවා. අපි කාටවත් හිංසාවක් වන විදිහට කිසි දවසක මේ සීමාව තුළ හැසිරිලා නෑ. වෙළඳාමක් කරලා කීයක් හරි හොයාගෙන දරු පවුල් ජීවත් වුණේ. නමුත් අද අපට මෙහෙන් යන්න වෙන තත්ත්වයක් උදාවෙලා. ඒක හරිම අපරාධයක්. පාලකකින් මීට වඩා හිතන්න ඕනේ. මේවා විසඳුම් නෙමෙයි පැලැස්තර. අපි පන්නන එක නෙමෙයි තියෙන්නෙ සුරක්ෂිත ආරක්‍ෂාවක් තහවුරු කරන එකයි. ඒකට තමයි පොලිසිය ඉන්නෙ. අපට කඩ වහල ගෙවල් වලට වෙලා උඩ බලාගෙන ඉන්න බෑ.අපි අපේ දරුවෝ ජීවත් වෙන්නෙ මේ හොයාගන්න කීයෙන් හරි. අපි දැන් වසර හතළිහක් පමණ මේ රැකියාව කරනවා.මෙහෙම ප්‍රශ්නයක් ආවේ නෑ. කවුරුවත් කරන වැරදි වලට අපිද බඩගින්නෙ ඉන්න ඕනේ. හොරුන් මංකොල්ලකාරයින් ස්ත්‍රී දූෂකයන් අපරාධකරුවන් හොයන එක හා අල්ලන එක පොලීසියේ රාජකාරියක්. අපරාධකාරයෝ අපරාධ සිදු කළාම අපිද ඒවට වන්දි ගෙවන්න ඕනේ. මේක පුදුම නීතියක්. මහජන බදු මුදල් වලින් ඉගෙන ගත්තු මිනිස්සු සමාජ ප්‍රශ්න වලට විසඳුම් හොයන විදිහද මේ. අපට මේවා වහලා යන්න විදිහක් නෑ. යන්නෙත් නෑ. නගර සභාවත් එකඟ වෙලා ඉන්නේ අපට මේ කඩ සංවර්ධනය කරලා දෙනවා කියලා. අනික අවුරුදු ගානක් මේ හැම වෙළඳ සැලකින්ම නගර සභාව බදු මුදල් එකතු කරනවා. අපි රජයට ගෙවලයි මේ රස්සාව කරගෙන යන්නේ. මේක පය බරවායට පිටිකර බෙහෙත් බඳින කතාව වගේනෙ යැයි ඔවුන්ගේ අදහස විය.


රෝහල ඉදිරිපිට ත්‍රී රෝද රථ ගාලේ ත්‍රී රෝද රථ රියදුරෙකුවන යූ.ජී.එම්.ටී.කේ.වීරතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. මෙතන අවුරුදු පනහකට වැඩි කාලයක් සේවය කරන අයත් ඉන්නවා. අපෙන් සේවාවක් මිසක් මෙතෙක් කල් කාටවත් හානියක් වෙලා නෑ. අපට නම් මෙතනින් යන්න වෙන්නෙ නෑ.රුපියල් තුනටත් හයර් දිව්ව අය මෙතන ඉන්නවා. නගරය ලස්සන වෙනවට, රෝහල වෛද්‍යවරුන් වගේම අනික් හැමෝම සුරක්ෂිතව ඉන්නවට අපිත් කැමතියි. වෛද්‍යවරියට සිදුවුණු අවාසනාවන්ත සිදුවීම ගැන දැඩි සේ කණගාටු වෙනවා. හැබැයි එවැනි ක්‍රියාවලට විසඳුම් සෙවීමේදී අපි වැනි කණ්ඩායම් වලට අපේ රැකියාවල් දාලා යන්නට වෙනවා නම් ඒක දෙපාරක් හිතන්න ඕන කාරණාවක්. මම හිතන්නේ අපිට මෙතනින් යන්න වෙයි කියලා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා යැයි ඔහු පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට රථ ගාල් පවත්වාගෙන යන හිමිකරු වන ආර්.එම්.ඒ.පී.රත්නායක මහතා මෙසේ සඳහන් කළේය. මේ රථ ගාල් ටෙන්ඩරය සඳහා වසරකට රුපියල් ලක්ෂ හැටක මුදලක් අපි නගර සභාවට ගෙවනවා. බයිසිකලයකින් රුපියල් 30 ක් වාහනයකින් රුපියල් 50 අය කරලයි අපි මේක පවත්වාගෙන යන්නේ. සමාජයේ එක එක කතා බහ පැතිරුණාට අපට නම් හානියක් වන එකක් නෑ. මෙතනින් යන්න කිව්වත් රථ ගාලක් සඳහා නිශ්චිත ස්ථානයක් අපට දෙන්න එපැයි. එසේ නැති නම් නගර සභාව අපෙන් අය කර ගත්තු මුදල් ආපහු අපිට දෙන්න එපැයි. තේ කෝප්පයක් විකුණලා , කෑම පැකට් එකක් විකුණලා එහෙම නැතිනම් හයර් එකක් දුවලා එහෙමත් නැති නම් අපි වගේ රට ගාලක් පවත්වාගෙන ගිහින් කීයක් හරි හොයා ගන්න මිනිස්සු මේ තැන්වලින් ඉවත් කරන එක නෙමෙයි මේ අපරාධ රැල්ලට විසඳුම. මම විශ්වාස කරනවා අපට අසාධාරණයක් වෙන්නේ නැති වෙයි කියල යැයි රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර නගරයේ හා එහි වෙසෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට උසස් නිලධාරීන්ගේ උපදෙස් මත තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරන බව අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතා අප කළ විමසුමේදී පැවසීය. කෙසේ වෙතත් වෛද්‍යවරිය මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීමේදී ඇතැම් මාධ්‍ය ක්‍රියා කළ ආකාරය ප්‍රශ්න සහගත බවත් ප්‍රබුද්ධ මාධ්‍ය හැසිරීමක් මාධ්‍ය ආයතන මගින් තමන් බලාපොරොත්තු වූ බවත් හෙතෙම පැවසීය.


