චම්පිකා මුතුකුඩ
වෙසක් පොහෝ දින පදනම් විරහිතව අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කර හැරීම පිළිබඳව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ගරු ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොට ගෙන දැනට සිර දඩුවම් විඳින සිරකරුවන් කිහිප දෙනෙකුට පොදු සමාව ලබා දෙනු ලැබිණ. ඒ අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස නිදහස් කළ බවට පැමිණිල්ලක් 2025.06.06 වන දින ජනාධිපති කාර්යාලය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණි.
එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලදී. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන්ද මීට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමද, අදාල ලේඛන පරීක්ෂා කිරීමද සිදු කරන ලද අතරින් පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් වෙසක් දින නිදහස් කර ඇති බව ඉන් හෙළි විය.
මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ට අවතරව අනුමැතිය නොලද සිරකරුවන්ද නිදහස් කර ඇති පළමු වතාව මෙය නොවන බවද විමර්ශනවලදී හෙළිවිය.
මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන්ට අමතරව තිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කෙරිණි.
මෙසේ නිදහස් කරන ලද සිරකරුවන් අතර රුපියල්ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි එම්. අතුල තිලකරත්නයයේ නමැති විත්තිකරුවෙකුද වන බව එම විමර්ශන මගින් හෙළි විය.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් අදාළ සිරකරුවා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් දන්නා යවා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගන්නා ලදී.
එම විමර්ශනයට අදාළව ඊයේ (08) දින බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලද අතර එම විමර්ශනය මත ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදාතිබිණ.
