රංජන් මඩගම්මන
*මේ රටේ අධ්‍යාපනය ප්ලාස්ටරයක් ගසා වෙනස් කළ නොහැකි දෙයක් බවත් 2026 සිට මේ රටේ අධ්‍යාපනය පරිවර්තනයකට ලක්කොට මේ රටේ අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන බව අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය පවසයි*
අග්‍රාමාත්‍යවරිය ඒ අදහස් පළකර සිටියේ පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වෙනි සංවත්වරය නිමිත්තෙන් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදි අද උදෑසන පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි.
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සේවයේ නිරත සිටි සියළු පීඨාධිපතිවරුන් අධ්‍යයන අනධ්‍යයන නිලධාරීන් හා දැනට එම විද්‍යාලයේ සේවයේ නියුතු අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය උදෙසා උපහාර පිදීමට මෙහිදී කටයුතු කරනු ලැබීය.
මීට අමතරව මෙරට අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍යවරිය ලෙස සිදු කරනු ලබන සේවාව අගයමින් හරිනි අමරසූරිය මෙනෙවිය හට පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් විශේෂ සමරු තිළිණයක්ද මෙහිදී ප්‍රධානය කරන ලදී.
මෙම විද්‍යාපීඨයේ 25 වෙනි සංවත්සරයට සමගාමීව එම විද්‍යාපීඨ පරිශ්‍රය තුළදී නා පැළයක් රෝපනය කිරීමටද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කටයුතු කළාය.
පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් වසර 25ක කාලය තුළ පුහුණු විද්‍යාපීඨ ගුරු කණ්ඩායම් 20ක් මගින් පුහුණු ගුරුවර ගුරුවරියන් 4000ක ප්‍රමාණයක් මෙරට පාසල් වල ගුරු සේවය සදහා යෙදවීමට කටයුතු කර ඇත.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා හා පද්මසිරි බංඩාර මහතා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා, පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් ඇතුළු එම විද්‍යාපීඨයේ සේවයේ නියුතු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේ ප්‍රකාශ කළාය.
අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැඳී තිබෙන්නේ ගුරුවරයාත් ශිෂ්‍යාත් අතර සම්බන්ධය තුළයි.
ඒ ගුණාත්මක භාවය මානුෂීය සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය ඉහළ නංවන්නෙ නැතුව අධ්‍යාපනයේ කුමන වෙනසක් කළත් වැඩක් නෑ.
ලෝකයේ තිබෙන උසස්ම අධ්‍යාපන ක්‍රමය නව තාක්ෂණය හා කොතරම් පහසුකම් තිබුණත්,
අධ්‍යාපනයේ වැදගත්ම සාධකය තමයි ගුරුවරයා.
අධ්‍යාපනයයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම තුළ ගුරුවරයාව අමතක කරලා තිබුණා.2026 අපි ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල අධ්‍යාපනයේ ප්‍රබල සාධකයක් බවට පත්වෙලා තියෙන ගුරුවරයාගේ ගැටලු විසඳීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.
ගුරුවරයාගේ ගුණාත්මක භාවය වර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි රජයක් හැටියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙහවා.
මට අදටත් බොත්තමක් මහන්න බෑ.එදා පළමු පන්තියේදී ඉදිකට්ටක් ගේන්න කිවුවා මට ගේන්න බැරි උනා මට ගැහුවා.ඒ නිසා මට මැහුම් එපා උනා.
අපේ පන්තිය තමයි අපේ පාසලේ නරකම පන්තිය.නමුත් එදා අපේ ඉස්කෝලෙ තිබුණු නරක පංතිය සල්ගාදු මිස් බාර ගෙන හොඳම පන්තිය බවට පත්කලා.
එහෙම ඒ ගුරුවරිය අපි වෙනස් නොකළ නම් අපි අද මේ තැන නෑ.
ගුරුවරයෙකුට ළමයෙකුගෙ ජීවිතය හදන්නත් පුලුවන් විනාශ කරන්නත් පුලුවන්.
ඒ නිසා භාර දුර වගකීමක් ඔබට තියෙන්නෙ.
අතීතය දිහා බලලා දැන් තියෙන තත්වය විශ්ලේෂණය කරලා, අනාගතයට මුහුණ දිය හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ හැකි ගුරු පරපුරක් නිර්මාණය කිරීම තමයි අලුත් විද්‍යාපීඨ ගුරුවරුන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.
ගුරු වෘත්තිය රැකියාවකට එහා ගිය උතුම් සේවයක්.
එවැනි සේවයක් සලසන ගුරු පරපුරක් බිහි කිරීම තමයි අපේ රජයේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නෙ.
මේක උපාධි ලබා දෙන ආයතනයක් පමණක් විදිහටයි මේ ආයතනය හඳුන්වන්නෙ.ඒ සහතිකය පිටිපස්සෙ තමයි තියෙන්නෙ.ඒ නිසා ඒ උපාධිය ලබා දීමට වඩා මේ රටේ ඉදිරි අභියෝග ජයග්‍රහණය කළ හැකි ගුරු පරපුරක් මේ විද්‍යාපීඨයෙන් බිහි කිරීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු.

