(වැලිගම තරංග ගුණරත්න)
එංගලන්ත ජාතිකයෙකු විසින් වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දු දරුවන්ට , පියා අහිමි වූ දරුවන්ට, සහ ආබාධ සහිත දරුවන්ට රුපියල් 5000 බැගින් බෙදා දී ඇත. මෙසේ බෙදා දෙන ලද මුදල රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වන බව පැවසේ.
වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පියා අහිමි හා පූර්ණකාලීන ආබාධිත පවුල්වල දරුවන්ට, කුඩා කල සිට විවිධ ආබාධ සහිත දරුවන්ට මෙන්ම ඉගෙනුමට දක්ෂ එහෙත් ආර්ථික අපහසුතා ඇති දරුවන් තෝරාගෙන ඔවුන්ට මුදල් ආධාර ලබාදීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරේ.
සුනාමි ව්‍යසනය සමග ආරම්භ කළ මෙම වැඩසටහන වසර 20 අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වේ.
තෝරාගත් පිරිස වෙනුවෙන් අධ්‍යාපන කටයුතු හමාර කරනතුරු මාසිකව රුපියල් පන්දහසක් (5000 ) ද උසස් අධ්‍යාපනය ලබන එක් දරුවකු වෙනුවෙන් මාසිකව රුපියල් විසි දහසක්ද ලබාදීම සිදු කෙරයි.
තමා පියානෝ වාදනය කර උපයා ගන්නා ලද මුදල් සහ තවත් විදෙස් හිතවතුන්ගේ ආධාර උපකාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එංගලන්ත ජාතික ස්කොටි වෙටිවන් මහතා පවසයි.
නිරන්තරයෙන්ම තමාට ලංකාවට පැමිණිමට ඇති අපහසුතාවය හේතුවෙන් එම කටයුතු සෑම මසකම සිදු කිරීම ඔහුගේ හිතවතෙකු වු වැලිගම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික ජගත් ප්‍රේමලාල් මහතා විසින් සිදු කරනු ලබන බවද වෙටිවන් මහතා අප සමග පැවසීය.
මෙම සමාජ මෙහෙවර යටතේ වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි විශාල පිරිසකට අධ්‍යාපන ලැබීමට මහඟු අවස්ථාවක් ලැබුණු බවත් මෙම වැඩසටහන තුළින් උසස් අධ්‍යාපනය ලැබූ පිරිස වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගුරුවරුන් ආදී රජයේ රැකියාවල නිරතව සිටින බවද ජගත් ප්‍රේමලාල් මහතා පවසා සිටි.
මෙම වැඩසටහන පිළිබඳව මෙහිදී ප්රතිලාභ ලබන දරුවෝද සහ දෙමව්පියෝද බෙහෙවින් අගය කළහ.





