නාඋල – ඉන්දික අරුණ කුමාර

ගැටළු රැසක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විශාලතම ගොවිභුමියේ ගොවීන් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටින බව නාඋල – අඹන මහ වෙල්යායේ ගොවිහු කියා සිටිති.
වසරකට කන්න තුනක් එළවළු හා වී වගා කෙරෙන අඹන වෙල් යායේ වගා වපසරිය අක්කර පන්සීයකට ආසන්නය.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සපයනු ලබන අඹන මහ වෙල්යායේ බහුල වශයෙන් මේ දින වන වගාකර ඇත්තේ බතලය.
ඊට අමතරව තක්කාලි,මෑ,දඹල,පතෝල ආදී එළවළු වර්ග රැසක් අඹන ගොවිහු වගාකර තිබේ.
වැඩිවශයෙන් වන අලින් මෙන්ම රිළවුන් දඩුලේණුන් මෙන්ම මොනරුන් වැනි වන සතුන්ගෙන් අඹන වෙල්යායට එල්ලවන තර්ජය මේ වන විට උග්‍ර වී ඇතැයි අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.
‘ මේ වන අලි ගැටළුව වගේම මොනරු,රිළවි මේ වෙල් යායට වැඩිඋනේ මොරගහකන්ද ජලාශය හැදුවට පස්සේ. මොකද ජලාශය හැදුනට පස්සේ වන සතුන්ගේ වාස භුමී අහිමිවුනා විතරක්ම නෙවෙයි ජලය හින්දා අවට ගම්වලට වන සත්තු එන්න පටන්ගත්තා. හරියට අලිවැටක් නැ. සත්තු පන්නන්න කිසිම ක්‍රියාමාර්ගයක් නැ ඉතින් මේ වගේ පසුබිමක තමයි අපි ගොවිතැන් කරන්නේ.‘
අඹන මහ වෙල්යායේ වගාකෙරෙන බෝග සම්බන්ධයෙන් ද බණ්ඩාර මහතා අදහස් පලකළේය.
‘ අපිට දඹුල්ල ආර්ථික මධස්ථානයට එළවළු අරන් යන්න ලොකු මුදලක් වැයවෙනවා. මේ අඹන හංදියේම තියෙනවා පොළ භුමියක් ඕපල්ගල,මොරගොල්ල,ගල්බොඩ වගේම ඇලහැර මාර්ගය දෙපසස ගෙවින්ගේ අස්වනු අරන්යන්නේ මේ පොළ භුමිය පසුකරලා. මේ භුමිය අතරමැදි මිලදී ගැනිමේ මධ්‍යස්ථානයක් විදිහට සකස් කරලා දෙන්න කියලා අපි අවස්ථා ගනනාවක දීම බලධාරින්ගෙන් ඉල්ලා සිටියා. ඇත්තටම මේ සම්බන්ධයෙන් ඇහුම්කන් දෙන්න පිරිසක් නැ.
ගුණාත්මක බවින් යුතු එළවළු පලතුරු මේ ස්ථානයෙන් මිලට ගන්න වගේම අලවිකරන්න ක්‍රමයක් තියෙනවා නම් ගොවින් අතරමැදියන්ට අහුවෙන්නේනැ.
ඒ වගේම් තැලිම් පොඩිවීම් අඩු එළවළු හා පලතුරු එක්රැස් කරන්න ඔනතරම් මේ ස්ථානයේ ඉඩකඩ තියෙනවා.
අපි ඉල්ලා සිටින්නේ වත්මන් ආණ්ඩුවට හරි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලයි.
ඒ වගේම තමයි ගම්මාන පහක පන්දහසක් පමණ වන ගොවි මහත්වරු ජිවත්වෙන මේ ප්‍රදේශවල අස්වනු ගන්න කොටුවලටම ආවා ඉස්සර වෙළෙන්දෝ දැන් එහෙම නෙවෙයි අපි සේරම දඹුල්ලට අරන්ගිහින් කොමිස් දිලා පාඩුවට හරි ලාබෙට හරි තමන්ගේ එළවළු ටික දිලා එන්න ඕනේ. මේ තත්ත්වය වෙනස් කල යුතුයි කියලයි අපි කියන්නේ.‘ යැයි ද කියා සිටියේය.



ඡායාරූප
01 අඹන මහ වෙල්යාය සහ වාගාවන්-01/02/03/07
02 අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා.Y.M.S.BANDARA
03 අඹන වෙල් යායට වන අලි හා මොණරුන් හානි සිදුකර ඇති අයුරු.04/05/06

