අග්බෝ නැවතත් තිරප්පනේට  ඇවිත්

සමන් පෙරේරා

අග්බෝ හස්තියාගේ ඉදිරි වම් පාදයට බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා තිරප්පනේ උලගල්ල වැවෙහි සිටියදී ඉකුත් 2023 වර්ෂයේ ජූලි මස 03 දින  වනජීවී නිලධාරීන් විසින් සොයා ගනු ලැබුණි.

එතැන් පටන් අවස්ථා 100කට අදික වාර ප්‍රමාණයක් පශුවෛද්‍යවරුන්gee නිසි ප්‍රතිකාර කිරීමෙන් පසු අග්බෝ ඇතා සුවය ලබා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12ක පමණ සැරිසරමින් ජීවත්විය.

ඒ අතරේ ගොවීන්ගේ භවභෝග විනාශ කරමින් පසුගිය කාලයේ අග්බෝ ඇතාගෙන් වුණ පීඩාවන් නිසා ගොවීන් අග්බෝ ඇතා ප්‍රදේශයෙන් රැගෙන යන්නැයි ඉල්ලමින් විරෝධතා ද දැක් වූ අවස්ථා ද තිබුණි. ඒ අග්බෝ දිගින් දිගට කෘෂි වගාවන්ට හානි සිදු කිරීම නිසා ය.

කෙසේ වෙතත් ගොවි ජනතාව මෙන් ම ගම්වාසීහු අග්බෝ හස්තියාට අසීමිත ආදරයක් දක්වති.

ඊට හේතු වී ඇත්තේ අග්බෝ අසාධ්‍යව සිටි කාලයේ ගොවි ජනතාව කෘෂි අස්වනු ඇතුලු ආහාර අග්බෝ ඇතාට ගෙනවිත් ලබා දීම ය. මේ නිසා ගොවීන් හා අග්බෝ ඇතා අතර සමීප හිතවත්කමක් ගොඩනැගී තිබිණ  ඒ නිසා ම අග්බෝ ඇතා ද තමන්ගේ ජීවිතයට හානියක් නොවන ආරක්ෂිත භූමියක් ලෙස තිරප්පනේ ඇතුලු අවට ගම්මාන කීපයක් ම තෝරාගෙන එම ප්‍රදේශවල සැරිසරමින් වාසය කිරීමට බොහෝ ප්‍රියතාවයක් දැක්වීය..

කෙසේ වෙතත් පසුගිය මාස කීපයක පටන් තිරප්පනේ   ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි අග්බෝ ඇතා එක්වරම තිරප්පනේ ට පැමිණි ඇතැයි පුවතක් මේ දිනවල ජනතාව පැතිරෙන්නට පටන්ගෙන තිබේ. ඒ තිරප්පනේ අලුත්පුංචිකුලම පාලම අසල ඒ නවය මාර්ගයට අග්බෝ හස්තියා ඉකුත් දිනක සවස පැමිණ ඇති බව දැක ගන්නට ලැබීමත් සමඟ ය.

ඒ අනුව ඒ නවය මාර්ගය මැදට ආ අග්බෝ ඇතා මද වේලාවක් මාර්ගයේ රැඳී සිට ඒ මේ අත ඇවිදින්නට විය.මේ කාලයේ දී සුළු වශයෙන් රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණුනි. 

මේ සිදුවීමත් සමඟ අග්බෝ ඇතාගේ ජීවන රටාවේ යම් වෙනසක් සිදුව මාර්ගය සමීපයට නිරන්තරයෙන් පැමිණීමට පටන් ගතහොත් අග්බෝගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල විය හැකි බව ජනතාව කියති. එයට ජනයා විවිධ කාරණා ගොණු කරති.

ඒ අතරේ ප්‍රධානම කාරණය නම් අග්බෝ මාර්ගය අද්දරට පැමිණීමට හුරු වුව හොත් මාර්ගය හරහා ගමන් ගන්නා රථවාහනවලින් “සුමේධ” ඇතාට සිදු වූවා සේ යම් අනතුරක් සිදුවීමට බොහෝ ඉඩ කඩක් ඇති බවයි. 

එසේම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලින් ආහාර ඉල්ලා ගැනීමට පෙළඹුණහොත් එය ද ඇතාට මෙන් ම ජනතාවට ද කරදරයක් වන බැවිනි. 

ඒ නිසා අග්බෝ ඇතාගේ වර්තමාන දෛනික ගමන් මාර්ගය හදුනාගෙන අග්බෝ ඇතාගේ වාසභූමි පිළිබඳ අදාළ වනජීවී අංශ හා බලධාරීන් නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු යැයි ජනතාවපෙන්වා දෙති .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *