තිරප්පනේ සමන් පෙරේරා, අනුරාධපුර කිත්සිරි වනසිංහ.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.
උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු උන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත විය.
තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් විසින් කළ බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙසින් සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේ ය. ඒ කෙරෙහි අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
අනතුරුව අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
මේ අතර ජයශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.බෝ මළුවට රැස්ව සිටින්න සැදැහැවතුන් හා පිළිසඳරක යෙදීමට දුන් අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැත.ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් හමුවීමට ලැබීම සතුටට කරුණක් බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය
එමෙන් ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුරාධපුර සම්ප්‍රාප්තියත් සමඟ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතින් අද (06) සිදු කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය විවෘත කිරීම සහ දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීම මෙහිදී ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 91.27කි.
එමෙන්ම ඇ.ඩො.මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව – අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපතිවරයා පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුසහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



